Next Pirates of the Caribbean movie to focus on Margot Robbie with Johnny Depp as supporting character

Next Pirates of the Caribbean movie to focus on Margot Robbie with Johnny Depp as supporting character

ජනප්‍රිය Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත 6 වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ප්‍රවීණ නිළි Margot Robbie එක්වීමට නියමිත බව වාර්තා වනවා. මීට පෙර නිවේදනය කළ පරිදි Captain Jack Sparrow ගේ චරිතයට Johnny Depp ව නැවත සම්බන්ධ කරගැනීම පිළිබඳව එහි නිෂ්පාදක Jerry Bruckheimer විසින් මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින අතර, මෙම නවතම චිත්‍රපටය තුළ ඔහු සහය චරිතයකට පමණක් පණ පොවනු ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

2003 වසරේදී තිරගත වූ The Curse of the Black Pearl චිත්‍රපටයේදී Johnny Depp විසින් නිරූපණය කළ ආකාරයට බොහෝ දුරට සමාන වන සහය චරිතයක් මෙම නව චිත්‍රපටය තුළත් ඔහුට හිමිවනු ඇති බව සඳහන් වනවා. 2020 වසරේ සිටම Margot Robbie ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, 2022 වසරේදී මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට ඇය විසින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා.

එහෙත් පසුගියදා පැවැත්වුණු Disney සමාගමේ D23 උළෙල අතරතුරදී Deadline වෙත අදහස් දැක්වූ Jerry Bruckheimer තහවුරු කර ඇත්තේ, මෙම චිත්‍රපටයේ වැඩකටයුතු කිසිසේත්ම නතර කර නොමැති බවත්, මේ දිනවල මෙහි තිරපිටපත සකස් කිරීමේ කටයුතු ඉතාමත් සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත්ය.