TikTok rolls out Voice Comments for audio replies under videos

TikTok rolls out Voice Comments for audio replies under videos

ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok විසින් වීඩියෝ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී හඬ පට (audio) යොදාගත හැකි Voice Comments නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. මෙමගින් පරිශීලකයින්ට තමන් නරඹන ඕනෑම වීඩියෝවක comment තීරුව වෙත තත්පර 60 ක උපරිමයකට යටත්ව කෙටි හඬ පට මුදාහැරීමට අවස්ථාව හිමිවනු ඇති.

වයස අවුරුදු 18 ට වැඩි ගිණුම් හිමියන් සඳහා පමණක් ලබා දී ඇති මෙම පහසුකම භාවිතා කිරීම සඳහා comment තීරුවේ ඇති මයික්‍රෆෝනය සංකේතය ස්පර්ශ කර හඬ පටය පටිගත කර පළ කළ හැකියි. TikTok ආයතනය පවසන්නේ සංගීතය සහ හඬ යනු ආරම්භයේ සිටම තම වේදිකාවේ ප්‍රධාන අංගයක් වූ බවත්, එම අත්දැකීම දැන් comment තීරුව දක්වා ගෙන ඒමට ඔවුන් කටයුතු කර ඇති බවත්ය. ඒ අනුව මින් ඉදිරියට අකුරු ටයිප් කිරීමකින් තොරව තමන්ගේ අදහස් සෘජුවම හඬ හරහා ප්‍රකාශ කිරීමට පරිශීලකයින්ට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම නව විශේෂාංගය තවමත් සියලුම පරිශීලකයින් සඳහා මුදාහැර නොමැති අතර, දැනට ඇතැම් පරිශීලකයින්ට පමණක් මෙය සක්‍රීය වී තිබෙනවා.

මෙහිදී පළවන හඬ පට සඳහා ද TikTok හි සාමාන්‍ය ප්‍රජා මාර්ගෝපදේශ අදාළ වන අතර, නීතිවිරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා speech-to-text තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය මෙවලම් මෙන්ම මානව නිරීක්ෂකයින් ද යොදාගැනීමට සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව TikTok හි comment තීරුව තවදුරටත් අන්තර්ක්‍රියාකාරී කිරීමේ අරමුණින් තවත් නව පහසුකම් කිහිපයක්ම ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වීඩියෝ නිර්මාණකරුවන්ට තම වීඩියෝ යටතේ විකල්ප 5 ක් දක්වා ලබාදිය හැකි Comment Polls නිර්මාණය කිරීමේ පහසුකම, එකවර ඡායාරූප 9 ක් දක්වා පළ කළ හැකි Photo Carousel Comments සහ Live Photos පළ කිරීමේ පහසුකම ද ඊට ඇතුළත්. දිනකට වේදිකාව පුරා බිලියන 1.7 කට අධික comments ප්‍රමාණයක් හුවමාරු වන අතර, මෙම නව හඳුන්වාදීම් හරහා පරිශීලකයින්ට වඩාත් නිර්මාණාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සැලසෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.