A new penguin species identified for the first time in over 100 years

A new penguin species identified for the first time in over 100 years

වසර 100ට පසු විද්‍යාඥයන් පිරිසක් විසින් ලෝකයෙන් පළමු වරට නව පෙන්ගුයින් විශේෂයක් සොයාගනියි.

වසර සියයකට අධික කාලයකට පසුව ලෝකයෙන් පළමු වරට නව පෙන්ගුයින් විශේෂයක් විද්‍යාත්මකව නම් කිරීමට පර්යේෂකයින් සමත්ව තිබෙනවා. ඇන්ටාක්ටිකාවට සැතපුම් 1,200 ක් පමණ උතුරින් සහ ස්ථිර මිනිස් වාසයක් සහිත ඕනෑම ගොඩබිමකට සැතපුම් 2,000 ක් පමණ ඈතින් පිහිටි හුදෙකලා Kerguelen Islands හී ජීවත් වන gentoo penguin පවුලට අයත් මෙම නව විශේෂය Pygoscelis kerguelensis (Southeastern gentoo) ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර අවසන් වරට නව පෙන්ගුයින් විශේෂයක් නිල වශයෙන් නම් කර ඇත්තේ 1921 වසරේදී වන අතර ඒ Northern Rockhopper Penguin විශේෂයයි.

Chile සහ University of California, Berkeley හි විද්‍යාඥයින් ප්‍රමුඛ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ මෙම සොයාගැනීම Communications Biology සඟරාවේ පළ කර තිබෙනවා. ප්‍රජනන ජනපද රැසක ජීවත් වන පෙන්ගුයින් සතුන්ගේ සම්පූර්ණ ජානමය දත්ත, ශරීර හැඩගැස්ම සහ පාරිසරික සාධක විශ්ලේෂණය කිරීමේදී තහවුරු වී ඇත්තේ මෙතෙක් කල් එකම විශේෂයක් ලෙස සැලකූ gentoo පෙන්ගුයින්ලා සැබවින්ම මීට වසර ලක්ෂ ගණනකට පෙර Antarctic Polar Front සහ භූගෝලීය හුදෙකලා වීම හේතුවෙන් වෙන්ව ගිය වෙනස් පරිණාමීය පරම්පරාවන් හතරකට අයත් වන බවයි. මින් පෙර උප විශේෂ තුනක් ලෙස වර්ගීකරණය කර තිබූ කාණ්ඩ තුනකට සම්පූර්ණ විශේෂ තත්ත්වය ලබාදීමට නිර්දේශ කර ඇති අතර, Kerguelen Islands හි ජීවත් වන සිව්වන කාණ්ඩය මීට පෙර හඳුනාගෙන නොතිබූ නවතම විශේෂය ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම නව විශේෂය නම් කිරීම සඳහා පදනම් කරගෙන ඇත්තේ 1897 වසරේදී Kerguelen දිවයිනෙන් එකතු කර කෞතුකාගාරයක තැන්පත් කර තිබූ සාම්පලයක් (holotype specimen) වන අතර, චන්ද්‍රිකා තාක්ෂණික නිරීක්ෂණවලට අනුව මෙම සතුන් ආසන්නයේ පිහිටි Heard Island දූපත ද භාවිත කරන බවට සාධක ලැබී තිබෙනවා. බාහිර පෙනුමෙන් සුදු පැහැති උදරය, කළු පැහැති පිටුපස සහ ඇස් වටා ඇති සුදු පැහැති සලකුණ සහිතව අනෙකුත් gentoo පෙන්ගුයින් විශේෂයන්ට බොහෝ දුරට සමාන වුවත්, ශරීර ප්‍රමාණය, නඟන හඬ සහ ජානමය වශයෙන් මොවුන් පැහැදිලිවම වෙනස් වනවා.

මෙම සොයාගැනීමත් සමඟ gentoo පෙන්ගුයින්ලා ප්‍රධාන විශේෂ 4 ක් ලෙස වර්ග කෙරෙනවා:

Northern gentoo (Pygoscelis papua) — Falkland/Malvinas සහ අවට දකුණු ඇමරිකානු දූපත්

Southern gentoo (Pygoscelis ellsworthi) — ඇන්ටාක්ටික් අර්ධද්වීපය, South Orkneys, South Shetlands සහ South Georgia

Eastern gentoo (Pygoscelis taeniata) — Crozet, Marion සහ Macquarie දූපත්

Southeastern gentoo (Pygoscelis kerguelensis) — Kerguelen (සහ බොහෝ දුරට Heard) දූපත්

දේශගුණික විපර්යාස හමුවේ මෙම පෙන්ගුයින් විශේෂ සංරක්ෂණය කිරීම සඳහා මෙම සොයාගැනීම අතිශය තීරණාත්මක වනවා. ඇන්ටාක්ටිකාවේ ජීවත් වන Southern විශේෂයට දේශගුණික උෂ්ණත්වය ඉහළ යාමෙන් අඩු බලපෑමක් එල්ල වීම හෝ උන්ගේ ව්‍යාප්තිය පුළුල් වීම සිදුවිය හැකි වුවත්, අනෙක් විශේෂ තුනටම ඉදිරි දශක කිහිපය තුළ සිය වාසස්ථාන අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව පරිගණක ආකෘති මඟින් පෙන්වා දෙනවා. මොවුන් සියල්ල එකම බහුල විශේෂයක් ලෙස සැලකීම නිසා කුඩා, හුදෙකලා දූපත්වල ජීවත් වන මෙවැනි අවදානමට ලක්විය හැකි ගහනයන් කෙරෙහි අවධානය යොමු නොවී පැවති බවයි විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට දින කිහිපයකට පෙර වසර 100ට පසු නව පූස් විශේෂයකුත් විද්‍යාඥයන් විසින් සොයාගැනීමට සමත් වුනා.