
New cat species identified for the first time in over 100 years
වසර 100 කට අධික කාලයකට පසු ලොව ප්‍රථම වතාවට නව බළල් විශේෂයක් විද්‍යාත්මකව හඳුනාගැනීමට පර්යේෂකයින් සමත්ව තිබෙනවා. Tilcayo tiger cat ලෙසින් හඳුන්වන මෙම සුවිශේෂී සත්වයා ප්‍රථම වරට Bolivia හි වනජීවී අභයභූමියක් වෙත රැගෙන විත් ඇත්තේ, සාමාන්‍ය ගෘහාශ්‍රිත බළල් පැටවෙකු යැයි වරදවා වටහාගත් ප්‍රදේශවාසියෙකු විසිනි. Senda Verde Animal Refuge අභයභූමිය වෙත රැගෙන ඒමට පෙර මෙම සත්වයාට සාමාන්‍ය ගෘහාශ්‍රිත ආහාර ලබා දී ඇති අතර, පසුව එහි සේවකයින් විසින් මෙම අසාමාන්‍ය බළලා පිළිබඳව ජීව විද්‍යාඥ සහ National Geographic පර්යේෂක Paola Nogales Ascarrunz ගේ අවධානය යොමු කර තිබෙනවා.
දකුණු ඇමරිකානු කලාපයට ආවේණික කුඩා පුල්ලි සහිත බළලුන් විශේෂයකට අයත් වන මොවුන්, කලාපයේ අනෙකුත් බළලුන්ට දක්වන දැඩි සමානකම හේතුවෙන් මෙතෙක් කලක් පර්යේෂකයින්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබුණා. වයස අවුරුදු 10 ක් පමණ වන මෙම සත්වයා සහ තවත් කෞතුකාගාර සාම්පල කිහිපයක් යොදාගනිමින් සිදුකළ සම්පූර්ණ ජානමය විශ්ලේෂණ හරහා Leopardus ඝණයට අයත් බළලුන් විශේෂ 5 ක් හඳුනාගෙන ඇති අතර, මෙය මීට වසර මිලියන 1.4 කට පමණ පෙර පරිණාමය වූ ඉන් නවතම විශේෂය බවට තහවුරු කරගෙන ඇත. ඒ අනුව ප්‍රදේශවාසීන් භාවිතා කරන සාම්ප්‍රදායික නාමයට ගරු කිරීමක් ලෙස Leopardus tilcayo යන විද්‍යාත්මක නාමය ලබා දෙමින් Current Biology සඟරාව හරහා මෙය නිල වශයෙන් ලොවට හඳුන්වා දී තිබෙනවා.
සාමාන්‍ය ගෘහාශ්‍රිත බළලෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩා වන මෙම සත්වයාගේ බර කිලෝග්‍රෑම් 1.5 ත් 2 ත් අතර වනවා. සෙන්ටිමීටර 42 ත් 50 ත් අතර දිගකින් සහ සෙන්ටිමීටර 25 ක පමණ වලිගයකින් යුක්ත වන මොවුන්ගේ ලා දුඹුරු පැහැති සමෙහි අක්‍රමවත් තද පැහැති පුල්ලි රටාවක් දක්නට ලැබෙනවා. ඊට අමතරව රවුම් හැඩැති කන් සහ කුඩා මුහුණ හේතුවෙන් මොවුන්ට සුවිශේෂී පෙනුමක් ලැබී තිබෙනවා.
Bolivia හි Andes කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල පිහිටි තෙතමනය සහිත කඳුකර ප්‍රදේශයක් වන Yungas වනාන්තර කලාපයේ මෙම සතුන් ජීවත් වනවා. දැනට මෙම අභයභූමියේ සිටින සත්වයා ඇතුළුව ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් නිල වශයෙන් තහවුරු කරගෙන ඇතත්, ස්වභාවික පරිසරයේ තවත් සතුන් ජීවත් වන බවට විශ්වාස කරන පර්යේෂකයින් ඔවුන් සොයාගැනීම සඳහා මේ වන විටත් කැමරා උගුල් (camera traps) අටවමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කලාපයේ ජෛව විවිධත්වය පිළිබඳව තවමත් හෙළි නොවූ තොරතුරු රැසක් පවතින බව මෙම අපූරු සොයාගැනීම හරහා තහවුරු වී ඇති අතර, මෙම නව විශේෂයේ ගහනය සහ ඔවුන්ට ඇති තර්ජන පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් ඔවුන්ව සංරක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.




🐈| New cat species identified for the first time in over 100 years. read more: https://t.co/lBypXchFHQ pic.twitter.com/tshgRK2jbw
— Sri COM (@TheSriCOM) September 18, 2026
Discussion
No comments yet — start the conversation.