
A passenger aboard a Boeing 737 was partially sucked out of the aircraft after a window shattered.
ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියෙකු ජනේලයක් බිඳී යාමෙන් යානයෙන් පිටතට විසි වෙයි.
ග්‍රීසියේ Thessaloniki ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ජර්මනියේ Memmingen බලා පියාසර කරමින් තිබූ Ryanair සමාගමට අයත් පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Malta Air හි අංක FR1879 දරන Boeing 737-800 ගුවන් යානයක් මෑතකදී බිහිසුණු අනතුරකට මුහුණ දී තිබෙනවා. යානය ගුවන්ගත වී මිනිත්තු 6 කට පමණ පසු අඩි 15,000 ත් 16,000 ත් අතර ඉහළ අහසේ ගමන් කරමින් සිටියදී එහි දකුණු පස එන්ජිමේ අධික කම්පනයක් ඇතිවී ඇති අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසු අංක 10 ෆෑන් තලය කැඩී ගොස් විසි වී තිබෙනවා. අධික වේගයෙන් විසිවූ එම සුන්බුන් යානයේ බඳෙහි වැදීමෙන් 11 වන පේළියේ දකුණු පස ජනේලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ජනේලය බිඳී යාමත් සමගම යානය තුළ වූ වායු පීඩනය ක්ෂණිකව අඩුවීම හේතුවෙන් අදාළ 11F අසුනේ සිටි 61 හැවිරිදි සර්බියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන Ljubisa Karović ගේ හිස සහ දකුණු අත ජනේලයෙන් පිටතට ඇදී ගොස් තිබුණා. එහෙත් වහා ක්‍රියාත්මක වූ අසල සිටි සෙසු මගීන් විසින් ඔහුව නැවත යානය තුළට ඇදගෙන ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇති අතර, යානයේ සිටි වෛද්‍යවරයෙකු විසින් 12 වන පේළියට ඔහුව රැගෙන ගොස් බෙල්ලේ සහ උරහිසේ සිදුවූ තුවාල මෙන්ම ඝර්ෂණය නිසා ඇතිවූ පිළිස්සුම් සඳහා මූලික ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඉන්පසුව සෙසු මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව ලෝහ ආහාර පෙට්ටියක් ආධාරයෙන් අදාළ කැඩී ගිය ජනේලය ආවරණය කිරීමට පියවර ගෙන ඇති අතර, නියමුවන් විසින් වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අතිරික්ත ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව යානය නැවතත් Thessaloniki ගුවන් තොටුපළටම ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් National Transportation Safety Board හෙවත් NTSB මගින් නිකුත් කළ මූලික වාර්තාවට අනුව, කැඩී ගිය ෆෑන් තලයේ ලෝහ තෙහෙට්ටුව හේතුවෙන් ඇතිවූ ඉරිතැලීම් දක්නට ලැබුණු බවත්, එන්ජිම තුළ කුරුල්ලන්ගේ කොටස් හමුවූ බවත් සඳහන් වනවා. පසුගිය මාස 12 තුළ පමණක් අදාළ එන්ජිමේ කුරුල්ලන් ගැටීම් 4 ක් වාර්තා වී තිබූ අතර, අනතුරට සති 3 කට පමණ පෙර මෙම ෆෑන් තල පරීක්ෂාවකට ලක් කර තිබුණද එහිදී කිසිදු දෝෂයක් හඳුනාගෙන තිබුණේ නැහැ. එසේම 2018 වසරේදී Southwest Airlines යානයක සිදුවූ මෙවැනිම අනතුරකින් පසුව එන්ජින් තලයක් කැඩී ගියහොත් එය යානයට වැදීම වළක්වන පරිදි එන්ජින් කවර ශක්තිමත් කිරීමට Federal Aviation Administration මගින් අනිවාර්ය කර තිබූ නවීකරණයන් ද මෙම යානයට මෙතෙක් සිදු කර නොතිබූ බව අදාළ පරීක්ෂණ වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.