VHP demands ban on Ramayana, alleges film glorifies Ravana

VHP demands ban on Ramayana, alleges film glorifies Ravana

මේ දිනවල සාර්ථකව තිරගත වන Ramayana චිත්‍රපටය වහාම තහනම් කරන ලෙස ඉන්දියාවේ ප්‍රබල හින්දු ජාතිකවාදී සංවිධානයක් වන ලෝක හින්දු පරිෂද් (Vishva Hindu Parishad - VHP) සංවිධානය ඉල්ලා තිබෙනවා. මෙම චිත්‍රපටය හරහා රාවණා රජු උත්කර්ෂයට නංවා ඇති බවත්, වාල්මීකි මුණිවරයාගේ මුල් වීර කාව්‍යය විකෘති කරමින් හින්දු ආගමික හැඟීම්වලට හානි කර ඇති බවත් පවසමින්, චිත්‍රපටයේ වාරණ සහතිකය අවලංගු කර සිනමාහල් තිරගත කිරීම් නතර කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ලෝක හින්දු පරිෂද් සංවිධානයේ ජාත්‍යන්තර සභාපති ආලෝක් කුමාර් සහ මහලේකම් බජ්රන්ග් ලාල් බග්‍රා සෙනසුරාදා මෙම විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා. තම සංවිධානය විසින් චිත්‍රපටය නරඹා සමාලෝචනය කළ බවත්, එහිදී වීර කාව්‍යයේ ඓතිහාසික සිදුවීම් විකෘති කර ඇති බව, ගෙතූ සිදුවීම් ඇතුළත් කර ඇති බව මෙන්ම වැදගත් චරිත සහ කොටස් කිහිපයක් හිතාමතාම ඉවත් කර ඇති බවත් අනාවරණය වූ බව ඔවුන් පවසනවා.

මෙම චිත්‍රපටය තුළ රාවණා රජු පීඩිතයන්ගේ ගැලවුම්කරුවෙකු ලෙස නිරූපණය කර ඇති බවත් රාවණා රජු උත්කර්ෂයට නංවා ඇති බවටත් ආලෝක් කුමාර් චෝදනා කරන අතර, එය රාම කතාවේ මූලික වටිනාකම්වලට එල්ල කළ ප්‍රහාරයක් බවත් ඔහු සඳහන් කරනවා. එමෙන්ම රාම කුමරුගේ උතුම් මෙහෙවර දේව රාජකාරියක් ලෙස නොව, සීතා පැහැරගෙන යාම වෙනුවෙන් පළිගැනීමේ පෞද්ගලික අරගලයක් ලෙස ඉදිරිපත් කර ඇති බවට බජ්රන්ග් ලාල් බග්‍රා විවේචනය කර තිබෙනවා.

අහල්‍යාගේ විමුක්තිය, නිෂාද්රාජ් ගුහා සමඟ ඇති මිත්‍රත්වය සහ කේවට්ගේ භක්තිය වැනි රාම කුමරුගේ චරිතයට අත්‍යවශ්‍ය කොටස් මෙයින් ඉවත් කර ඇති බවට ලෝක හින්දු පරිෂද් සංවිධානය විශේෂයෙන් විරෝධය පළ කර තිබෙනවා. ඉන්දීය සිනමා පනත යටතේ චිත්‍රපටයේ වාරණ සහතිකයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් සලකා බලමින් සිටින අතර, මෙතෙක් චිත්‍රපටයට කිසිදු තහනමක් පනවා නැහැ.

නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කර නමිත් මල්හෝත්‍රා විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ පළමු කොටස 2026 නොවැම්බර් 5 වනදා ලොව පුරා තිරගත වීම ආරම්භ කළා. සායි පල්ලවී සීතා ලෙසත්, රවී දුබේ ලක්ෂ්මන් ලෙසත් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය නිකුත් වී සති කිහිපයක් ඇතුළත ඉන්දියාව තුළ ඉන්දීය රුපියල් කෝටි 1,070 කට අධික ආදායමක් සමඟින් ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 1,600 සීමාව පසු කරමින් දැවැන්ත බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලබා තිබෙනවා.