Allu Arjun and Atlee’s Raaka sets Guinness World Record for most people motion captured in real time

Allu Arjun and Atlee’s Raaka sets Guinness World Record for most people motion captured in real time

ඉන්දියානු සිනමා කර්මාන්තයට සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Atlee ගේ අධ්‍යක්ෂණයෙන් සහ Allu Arjun ගේ ප්‍රධාන රංගනයෙන් හැඩගැන්වෙන නවතම චිත්‍රපටය වන Raaka චිත්‍රපටය ගිනස් ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා. ඒ චිත්‍රපට දර්ශනයක් සඳහා එකම අවස්ථාවකදී වැඩිම පිරිසක් තත්‍ය කාලීනව motion capture තාක්ෂණයට ලක් කිරීමේ (Most People Motion-Captured in Real-Time) ලෝක වාර්තාව පිහිටුවමිනි.

වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකුගේ සිට අවුරුදු 70 ක වැඩිහිටියෙකු දක්වා වූ රංගන ශිල්පීන් 37 දෙනෙකු එකම අවස්ථාවකදී මෙලෙස motion capture තාක්ෂණයට ලක් කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි මාසයේදී රූගත කළ මෙම දර්ශනය සඳහා පසුගිය සැප්තැම්බර් 15 වනදා Mumbai නුවරදී නිල වශයෙන් Guinness World Records සහතිකය ප්‍රදානය කෙරුණු අතර, එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරු Swapnil Dangrikar විසින් Allu Arjun සහ Atlee වෙත අදාළ සහතිකය පිරිනමා ඇත.

මෙම දැවැන්ත අභියෝගය ජයගැනීම සඳහා චිත්‍රපටයේ VFX කණ්ඩායම විසින් දෘශ්‍ය motion capture කැමරා 92 ක් සමඟින් තත්‍ය කාලීන Unreal Engine තාක්ෂණය ඇතුළු අති නවීන තාක්ෂණික උපාංග රැසක් භාවිත කර තිබෙනවා. අධ්‍යක්ෂක Atlee ගේ 40 වන උපන්දිනය යෙදී තිබූ සැප්තැම්බර් 21 වනදා Kalanithi Maran ගේ Sun Pictures නිෂ්පාදන ආයතනය විසින් මෙම ජයග්‍රහණය නිල වශයෙන් නිවේදනය කළ අතර, මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව Allu Arjun සිය කණ්ඩායමට සහ අධ්‍යක්ෂකවරයාට විශේෂ ස්තූතියක් ද පළ කර තිබෙනවා.

Allu Arjun සහ Atlee පළමු වරට එක්වන Raaka චිත්‍රපටය දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර, මෙහි ප්‍රධාන නිළිය ලෙස Deepika Padukone සිය දායකත්වය ලබා දෙනවා. අති නවීන දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරමින් විශාල පිරිවැයක් දරා නිර්මාණය වන මෙම චිත්‍රපටය 2027 වසරේදී ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නියමිතයි.