
British chess prodigy Bodhana Sivanandan becomes youngest Woman Grandmaster in history
වසර 20ක් පැවති වාර්තාවක් බිඳිමින් 11 හැවිරිදි බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවක් චෙස් ඉතිහාසයේ ලාබාලතම කාන්තා Grandmaster පදවිය දිනාගත් ක්‍රීඩිකාව බවට පත් වෙයි.
වසර 20 කට ආසන්න කාලයක් නොබිඳී පැවති ලෝක වාර්තාවක් බිඳහෙළමින්, ඉන්දීය සම්භවයක් සහිත 11 හැවිරිදි බ්‍රිතාන්‍ය චෙස් ක්‍රීඩිකා Bodhana Sivanandan චෙස් ඉතිහාසයේ ලාබාලතම කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් හෙවත් Woman Grandmaster පදවිය දිනාගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. මෙම සුවිශේෂී දස්කම වෙනුවෙන් ඇයට නිල වශයෙන් ගිනස් ලෝක වාර්තාවක් ද මේ වන විට හිමිව තිබෙනවා. උතුරු බටහිර ලන්ඩනයේ හැරෝ හි පාසල් දැරියක වන ඇය, උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති 46 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී එංගලන්තය නියෝජනය කරමින් තම තෙවන සහ අවසන් WGM සුදුසුකම් සීමාව සම්පූර්ණ කළා. තරග 11 කදී ජයග්‍රහණ 6 ක්, ජය පරාජයෙන් තොර තරග 4 ක් සහ එක් පරාජයක් සමඟින් ලකුණු 8 ක් ලබාගත් ඇය, එංගලන්ත කාන්තා කණ්ඩායම 15 වන ස්ථානය දක්වා ගෙන ඒමට දායක වුණා.
2015 මාර්තු 07 වනදා උපත ලැබූ ඇය මෙම සුවිශේෂී කඩඉම පසුකරන විට ඇයගේ වයස අවුරුදු 11 යි මාස 6 යි දින 18 ක් පමණක් වුණා. මේ සඳහා අනිවාර්ය වන ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ 2300 ශ්‍රේණිගත කිරීම් සීමාව ඇය ඒ වන විටත් පසුකර තිබූ බැවින්, මෙම අවසන් සුදුසුකම හරහා කාන්තා ක්‍රීඩිකාවන්ට පමණක් වෙන්වූ ඉහළම ජීවිතාන්ත පදවිය ඇයට නිල වශයෙන් හිමිවුණා. තමන් මෙම ජයග්‍රහණයෙන් පමණක් නොනැවතී තවදුරටත් ඉතිහාසය අලුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය ජාත්‍යන්තර චෙස් සම්මේලනයට ප්‍රකාශ කර ඇත්තේ.
මීට පෙර ලොව ලාබාලතම WGM පදවිලාභීන් වූයේ:
චීනයේ Hou Yifan: වයස අවුරුදු 12 යි මාස 3 යි දින 8 යි
යුක්‍රේනයේ Kateryna Lagno: වයස අවුරුදු 12 යි මාස 4 යි දින 2 යි
ඉන්දියාවේ Harika Dronavalli: වයස අවුරුදු 13 යි
යුක්‍රේනයේ Anna Muzychuk: වයස අවුරුදු 13 යි
රුසියාවේ Aleksandra Goryachkina: වයස අවුරුදු 13 යි
කොවිඩ් වසංගත සමයේ නිවසේ තිබූ චෙස් ලෑල්ලකින් වයස අවුරුදු පහේදී ක්‍රීඩාව ස්වයංව උගත් ඇයගේ ගමන අතිශය විස්මිත එකක් වයස අවුරුදු 9 දී බුඩාපෙස්ට් හි පැවති 2024 චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට එක්වෙමින් එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩාවකදී පෙනී සිටි ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වූ අතර 2025 වසරේදී වයස අවුරුදු 10 දී Peter Wells පරාජය කරමින් ග්‍රෑන්ඩ්මාස්ටර්වරයෙකු පරාජය කළ ලාබාලතම දැරිය මෙන්ම ලාබාලතම කාන්තා ජාත්‍යන්තර මාස්ටර්වරිය බවට පත්වුණා.
ජාත්‍යන්තර මාස්ටර් සුදුසුකමක් ලබාගත් ලාබාලතම දැරිය බවට පත්වූ ඇය, 2026 අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ලාබාලතම කාන්තා චෙස් ශූරිය ලෙස කිරුළු පැළඳුවා.
සමර්කන්ඩ් ඔලිම්පියාඩ් තරගාවලියේදී ඇය තම දෙවන ජාත්‍යන්තර මාස්ටර් සුදුසුකම ද ලබාගත් අතර, එමඟින් පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම පොදු ජාත්‍යන්තර මාස්ටර් පදවිය කරා ද ඇය තවත් පියවරක් සමීප වී තිබෙනවා. ලන්ඩනයේ පාසල් අධ්‍යාපනය ලබමින් ඉතා කුඩා වයසින්ම ලෝක වාර්තා පොත් අලුත් කරන මෙම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවගේ දක්ෂතාව ලොව පුරා දැඩි අවධානයකට ලක්ව පවතිනවා.
Discussion
No comments yet — start the conversation.