
First official teaser for “Koombiyo” Season 2 released
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ කූඹියෝ කතාමාලාවේ දෙවන කතා සමයෙහි පළමු නිල ටීසර් පටය අද නිකුත් කර තිබෙනවා.
ABF යන කෙටි නාමය යටතේ කූඹියෝ නිල YouTube නාලිකාව හරහා මෙම වීඩියෝව එළිදක්වා ඇති අතර, එය මිනිත්තු 3 යි තත්පර 13 ක ධාවන කාලයකින් යුක්ත වනවා. කෙසේ වෙතත් ABF යන්නෙහි සැබෑ තේරුම මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැති අතර, ප්‍රේක්ෂකයින් අතර කුතුහලයක් ඇති කිරීම සඳහා එය යොදාගෙන තිබෙනවා. ටීසර් පටය අවසානයේ ජෙහාන් විසින් 2026 කැලැන්ඩරයේ නොවැම්බර් 27 වනදා රවුම් කර ඒ යටින් ABF ලෙස සටහන් කරන ආකාරය දැකගත හැකියි. ඒ අනුව නව කතා සමයේ නිල නාමය, සම්පූර්ණ පූර්ව ප්රචාරක පටය හෝ ජෙහාන්ගේ මීළඟ සැලසුම කුමක්ද යන්න එදිනට හෙළිවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
එමෙන්ම 2026 නොවැම්බර් 27 වනදා සිකුරාදා දිනයක් වන බැවින්, සහ කැලැන්ඩරයේ පාට හේතුවෙන් මෙම “ABF” යන්න Abans Black Friday ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක් වීමට ද ඉඩ තිබෙනවා.
ටීසර් පටයෙහි “වසර 8 යි, මාස 8 යි, දින 8 කට පසු...” ලෙස දිස්වන සටහනේ. 2018 මාර්තු 17 වනදා විකාශය වූ පළමු කතා සමයේ අවසන් කොටසේ සිට හරියටම එම කාලය එකතු කළ විට එය 2026 නොවැම්බර් 25 වනදාට සම්පාත වීම විශේෂත්වයක්.
ඊට අමතරව එහි දිස්වන පුවත්පත් සිරස්තලයක “මහාඋල්පතගම නව අගමැති?” ලෙස සටහන්ව තිබීමෙන් ප්‍රියන්තගේ දැවැන්ත දේශපාලනික නැගී සිටීම පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා.
ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයෙන් මෙන්ම තුමිඳු දොඩන්තැන්න, කලණ ගුණසේකර ඇතුළු පිරිසගේ රංගනයෙන් හැඩවුණු කූඹියෝ පළමු කතා සමය මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. වසර ගණනාවක නිහැඬියාවකින් පසුව නිකුත් වූ මෙම ටීසර් පටයත් සමඟ ප්‍රේක්ෂකයින්ට දැන් නොවැම්බර් 27 වනදා තෙක් මෙම අභිරහස විසඳෙන තුරු බලා සිටීමට සිදුවනු ඇති.
ටීසර් පටය මෙතැනින් නරඹන්න: https://www.facebook.com/share/v/1Duk1ucxzo/?mibextid=wwXIfr
Discussion
No comments yet — start the conversation.