I.G.I. Origins officially canceled following studio closure

I.G.I. Origins officially canceled following studio closure

නිර්මාණය කරමින් තිබූ අතිශය ජනප්‍රිය I.G.I. වීඩියෝ ක්‍රීඩා මාලාවේ නවතම නිකුතුව වන I.G.I. Origins වීඩියෝ ක්‍රීඩාවේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමයි.

බොහෝ දෙනා ආසාවෙන් බලා සිටි I.G.I. වීඩියෝ ක්‍රීඩා මාලාවේ නවතම නිකුතුව වන I.G.I. Origins වීඩියෝ ක්‍රීඩාව කිසි දිනෙක වෙළඳපොළට නිකුත් නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා. 2023 වසරේ මැයි මාසයේදී ස්වීඩන මව් සමාගම වන Enad Global 7 හෙවත් EG7 විසින් මෙම ක්‍රීඩාව සංවර්ධනය කළ Antimatter Games ආයතනය වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබුණා.

2019 වසරේදී මුලින්ම නිවේදනය කළ මෙම ක්‍රීඩාව, 2000 වසරේදී නිකුත් වූ Project I.G.I. සහ 2003 වසරේදී නිකුත් වූ I.G.I. 2 Covert Strike යන අතිශය ජනප්‍රිය ක්‍රීඩාවලට පෙර සිදුවූ සිදුවීම් මාලාවක් (prequel) රැගත් එකක් වන අතර 1980 වසරේ සීතල යුද සමය පසුබිම් කරගත් මෙහි Michael Regent King නම් හිටපු බ්‍රිතාන්‍ය විශේෂ බලකා (SAS) භටයෙකු MI6 රහස් ඔත්තු සේවය සඳහා මෙහෙයුම්වලට එක්වීම නිරූපණය කිරීමට නියමිතව තිබුණා. 2019 වසරේදී මෙහි cinematic teaser වීඩියෝවක් සහ 2022 සැප්තැම්බර් මාසයේදී gameplay reveal trailer එකක් ද නිකුත් කර තිබූ අතර, Unreal Engine 4 සිට Unreal Engine 5 තාක්ෂණයට මාරු වෙමින් සංවර්ධනය වූ මෙය 2021 වසරේ සිට කිහිප වතාවක්ම කල් දැමීමට ද කටයුතු කර තිබුණා.

අදාළ ආයතනය වසා දැමීමෙන් පසුව මෙහි හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙකු වූ Rich Barham විසින් I.G.I. හි අයිතිය සහ අදාළ දත්ත (source code) EG7 සමාගමෙන් මිලදී ගැනීමට උත්සාහ කර තිබූ නමුත් එම ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව 2026 වසර වන විටත් මෙහි සම්පූර්ණ අයිතිය EG7 සමාගම සතුව පවතින අතර, අලුත් සමාගමක් විසින් මෙය මිලදී ගන්නේ නම් මිස තවදුරටත් මෙම ක්‍රීඩාව සංවර්ධනය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දශක දෙකකට අධික කාලයක් නව I.G.I. ක්‍රීඩාවක් එනතුරු බලා සිටි ක්‍රීඩාලෝලීන්ගේ සියලු බලාපොරොත්තු මේ අනුව සම්පූර්ණයෙන්ම බොඳ වී ගොස් තිබෙනවා.