
Indonesian man kills neighbor over jokes about being unmarried at 45.
වයස අවුරුදු 45 ක් වන තෙක් තවමත් විවාහ වී නොමැති බව පවසමින් නිරන්තරයෙන් විහිළු තහළු කිරීම හේතුවෙන් කෝපයට පත් ඉන්දුනීසියාවේ 45 හැවිරිදි පුද්ගලයෙකු සිය 60 හැවිරිදි අසල්වැසියාට පහර දී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වනවා. North Sumatra හි South Tapanuli Regency ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, Parlindungan Siregar නමැති මෙම සැකකරු විසින් විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන Asgim Irianto නමැති පුද්ගලයාට මෙලෙස පහර දී තිබෙනවා.
ලී කැබැල්ලක් රැගෙන අසල්වැසියාගේ නිවසට කඩා වැදුණු සැකකරු කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඔහුට පහර දීමට පටන් ගෙන ඇති අතර, දිවි බේරාගැනීම සඳහා මහමගට දිව ආ වින්දිතයා හඹා ගොස් හිසට පහර දී බිම ඇද වැටුණු පසුව ද දිගින් දිගටම පහර දී ඇති බවයි වාර්තා වන්නේ. අසල්වැසියන් මැදිහත් වී ප්‍රහාරය නවත්වා ඔහුව රෝහල් ගත කිරීමට උත්සාහ කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි අතර, ප්‍රහාරය එල්ල වී පැයක් ඇතුළත සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ වයස 45 ක් වුවත් තවමත් විවාහ නොවී සිටීම පිළිබඳව මියගිය පුද්ගලයා නිතර විහිළු කිරීමෙන් තමන්ගේ සිත දැඩි ලෙස රිදුණු නිසා ඔහුව මරා දැමීමේ චේතනාවෙන්ම පහර දුන් බවයි. මීට අමතරව ඔවුන් දෙදෙනාගේ කුකුළන් අනෙකාගේ කූඩුවලට යාම වැනි සුළු සිදුවීම් මුල් කරගනිමින් මීට පෙර ද ඔවුන් අතර විවිධ ආරවුල් හටගෙන තිබූ බව අනාවරණය වී තිබෙනවා. මේ වන විට අදාළ සැකකරු මිනීමැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Discussion
No comments yet — start the conversation.