
Saudi Supreme Court overturns death sentence for Sri Lankan worker
ෆේස්බුක් සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් ශිවරාසා හට ලබා දී තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. ඔක්තෝබර් 13 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තහවුරු කළා.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අනෝජන් ශිවරාසා සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී පසුගිය ජූලි මාසයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, සමාජ මාධ්‍ය සංවාදයක් අතරතුර ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එල්ල වූ චෝදනාවකට අදාළවයි. ඔහු එම සටහන පළ කර සුළු වේලාවකින් එය ඉවත් කර සමාව අයැදීමේ වීඩියෝවක් පළ කර තිබුණ ද, එහි තිර සටහන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ආගමිකයන් පිරිසක් ඔහුගේ සේවායෝජකයා සහ බලධාරීන් වෙත යොමු කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත් වුණා.
පළමුව Al-Ahsa හි අපරාධ අධිකරණය මගින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කළ අතර, පසුව සැප්තැම්බර් 17 වැනිදා නැගෙනහිර කලාපයේ අභියාචනාධිකරණය විසින් ෂරියා නීතිය යටතේ එම දඬුවම මරණ දණ්ඩනය දක්වා දැඩි කිරීමට පියවර ගත්තා. මෙම තීන්දුවත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් හමුවී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට උපදෙස් ලබා දුන් අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂ නීති කණ්ඩායමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගියා.
ශ්‍රී ලංකා රජය, තානාපති කාර්යාලය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගත් අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය ප්රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙම මරණ දණ්ඩනය අවලංගු කර ඇති අතර, අනෝජන් ශිවරාසාගේ ඉදිරි නීතිමය තත්ත්වය හෝ ඉතිරි දඬුවම් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
Discussion
No comments yet — start the conversation.