
Trump signs executive order renaming Artificial Intelligence to Super Intelligence
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් AI (Artificial Intelligence) නාමය SI (Super Intelligence) ලෙස නිළ වශයෙන් වෙනස් කරයි.
ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් එරට ෆෙඩරල් රජයේ සියලුම නිල සන්නිවේදන කටයුතුවලදී Artificial Intelligence යන නාමය භාවිත කිරීම නවතා දමා ඒ වෙනුවට Super Intelligence හෙවත් SI යන නාමය භාවිත කරන ලෙස නිල වශයෙන් නියෝග කර තිබෙනවා. Inaugurating the Era of Super Intelligence නමින් සැප්තැම්බර් 29 වනදා අත්සන් තැබූ විධායක නියෝගයක් හරහා මෙම වෙනස නිල වශයෙන් තහවුරු කළ අතර, ධවල මන්දිරය විසින් එදිනම නිකුත් කළ නිල කරුණු දැක්වීමක ද මේ බව තහවුරු කර තිබුණා.
මේ අනුව ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන සියලුම නිල ලිපි හුවමාරු, වෙබ් අඩවි, වාර්තා සහ ප්රතිපත්ති ලේඛන සඳහා Super Intelligence සහ SI යන නාමයන් භාවිත කළ යුතු වනවා. නීතියෙන් අවසර දී ඇති උපරිම මට්ටමින් Artificial Intelligence හෝ AI යන වචන භාවිත කිරීමෙන් වළකින ලෙසට ද ඔවුන්ට උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නියෝගය අදාළ වන්නේ ඇමරිකානු විධායක අංශයට පමණක් වන අතර, පෞද්ගලික සමාගම්, විශ්වවිද්යාල, ප්රාන්ත රජයන් හෝ විදෙස් රජයන් සඳහා එය බලාත්මක වන්නේ නැහැ.
පසුගිය සැප්තැම්බර් 22 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් Donald Trump මුලින්ම මෙම අදහස ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පෙන්වා දුන්නේ Artificial යන වචනය නිසා මෙම තාක්ෂණය ව්යාජ එකක් ලෙස හැඟෙන බවයි. එය කිසිසේත්ම ව්යාජ එකක් නොවන බවත්, මින් ඉදිරියට ඇමරිකාවේ මෙන්ම ලෝකයේම ලේඛනවල Artificial වෙනුවට වඩාත් නිවැරදි Super යන නාමය භාවිත වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී ප්රකාශ කළා. මෙම නිවේදනයට පෙර ඔහු Truth Social සමාජ මාධ්ය වේදිකාව ඔස්සේ Superior Intelligence සහ Supreme Intelligence වැනි නම් ද යෝජනා කරමින් ජනමත විමසුමක් ද පවත්වා තිබූ අතර, එහිදී වැඩිම මනාප හිමිවී තිබුණේ Super Intelligence නාමයටයි.
ධවල මන්දිරයේ පැවති තාක්ෂණික සහ නවෝත්පාදන පිළිබඳ විශේෂ උත්සවයකදී මෙම විධායක නියෝගයට අත්සන් තැබූ අතර, ඒ සඳහා Nvidia ප්රධාන විධායක නිලධාරී Jensen Huang සහ xAI ප්රධානී Elon Musk ඇතුළු ප්රමුඛ පෙළේ තාක්ෂණික විධායකයින් රැසක් ද සහභාගී වී සිටියා. මිනිස් බුද්ධිය හුදෙක් අනුකරණය කිරීමක් යන අදහසින් මිදී, මෙම තාක්ෂණයේ ඇති වේගවත් හැකියාවන් සහ විභවය නව නාමය හරහා වඩාත් හොඳින් නිරූපණය වන බවයි ඇමරිකානු රජය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ දැනට පවතින ඇමරිකානු නීතිවලට අනුව මෙම තාක්ෂණය තවදුරටත් අර්ථ දක්වා ඇත්තේ Artificial Intelligence ලෙස බැවින්, මෙම විධායක නියෝගය හරහා නීතිමය නිර්වචන වෙනස් වීමක් හෝ පෞද්ගලික අංශයට නව නීතිමය බැඳීම් ඇතිවීමක් සිදු නොවන බවයි. මේ සම්බන්ධයෙන් කර්මාන්තය තුළ මිශ්ර ප්රතිචාරයක් පවතින අතර, රජයේ නිලධාරීන් නව නාමය භාවිත කිරීමට පටන් ගෙන තිබුණත් පර්යේෂකයින් සහ සමාගම් තවමත් පැරණි නාමයම භාවිත කරනවා. එසේම පර්යේෂණ ක්ෂේත්රය තුළ Superintelligence යනු දැනට පවතින පද්ධතිවලට වඩා සියලුම අංශවලින් මිනිස් බුද්ධිය අභිබවා යන උපකල්පිත පද්ධති හැඳින්වීම සඳහා භාවිත වන නිශ්චිත තාක්ෂණික යෙදුමක් බව ද විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Discussion
No comments yet — start the conversation.