444 years ago today, October 4 was followed by October 15

444 years ago today, October 4 was followed by October 15

පැරණි ජූලියානු දින දර්ශනය වෙනුවට වර්තමානයේ ලොව පුරා භාවිත වන ග්‍රෙගරියානු දින දර්ශනය මුල්වරට හඳුන්වා දෙමින්, 1582 ඔක්තෝබර් 04 වන බ්‍රහස්පතින්දා දිනට පසු දිනය කෙලින්ම ඔක්තෝබර් 15 වන සිකුරාදා ලෙස සටහන් කර දින 10 ක කාලයක් දින දර්ශනයෙන් මඟහැරීමට කටයුතු කර අදට වසර 444 ක් සපිරෙනවා. මෙලෙස දින දහයක් එකවර දින දර්ශනයෙන් ඉවත් කරනු ලැබුවේ පාප් රාජ්‍යයන් මෙන්ම කතෝලික යුරෝපයේ මුල්ම රටවල් කිහිපයකයි.

ක්‍රිස්තු පූර්ව යුගයේදී ජුලියස් සීසර් විසින් හඳුන්වා දුන් පැරණි ජූලියානු ක්‍රමය තුළ වසරක කාලය දින 365 යි දශම 25 ක් ලෙස සලකා තිබුණා. නමුත් සූර්ය වර්ෂයක සැබෑ කාලයට වඩා මෙය සුළු වශයෙන් දිගු වීම නිසා, වසර සිය ගණනක් ගතවෙද්දී 16 වන සියවස අග භාගය වන විට ස්වභාවික සෘතු විපර්යාසයන් සහ වසන්ත විෂුවය දින දර්ශනයට වඩා දින 10 කින් පමණ වෙනස් වී තිබුණා. මෙම ගැටලුව නිරාකරණය කරමින් 13 වන ග්‍රෙගරි පාප්තුමා විසින් Inter gravissimas නමැති නියෝගය හරහා එකතු වී තිබූ දින 10 ක දෝෂය නිවැරදි කළ අතර, ඉදිරියට එවැනි දෝෂ ඇතිවීම වැළැක්වීම සඳහා වඩාත් විධිමත් අධික අවුරුදු රීතියක් ද හඳුන්වා දුන්නා.

1582 වසරේදීම ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්තය සහ ප්‍රංශයේ කොටස් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කළ ද, සෙසු රටවල් එය පිළිගැනීමට තවත් සියවස් ගණනාවක් ගතවුණා. ඒ අනුව බ්‍රිතාන්‍යය සහ එහි යටත් විජිත 1752 දී ද, රුසියාව 1918 දී ද, ග්‍රීසිය 1923 දී ද නව දින දර්ශනයට මාරු වුණා. අද වන විට මුළු මහත් ලෝකයම දෛනික කටයුතු සඳහා භාවිත කරන සම්මත දින දර්ශනය මෙලෙස ප්‍රථම වරට ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ මීට වසර 444 කට පෙරයි.