Enthiran premiered 16 years ago today

Enthiran premiered 16 years ago today

ඉන්දියානු සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳු වූ S. Shankar ගේ අධ්‍යක්ෂණයෙන් සහ Kalanithi Maran ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ Enthiran චිත්‍රපටය නිකුත් වී අදට වසර 16 ක් සපිරෙනවා.

රජිනිකාන්ත් ප්‍රධාන චරිත ද්විත්වයකින් (විද්‍යාඥ Dr. K. Vaseegaran සහ Chitti රොබෝ) රංගනයෙන් දායක වූ මෙහි, Aishwarya Rai Bachchan සහ Danny Denzongpa සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළා.

දශකයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මෙම චිත්‍රපටය මුලින්ම කමල් හසන් සහ පසුව ෂාරුක් ඛාන් යොදාගෙන නිර්මාණය කිරීමටයි සැලසුම් කර තිබුණේ. පසුව රජිනිකාන්ත් සමඟින් 2008 වසරේදී මෙහි රූගත කිරීම් ආරම්භ කළ අතර ඒ සඳහා වසර දෙකක් ගතවුණා. හොලිවුඩයේ Legacy Effects ආයතනයේ වේශ නිරූපණ සහ ඇනිමැට්‍රොනික්ස් තාක්ෂණය, A. R. Rahman ගේ අග්‍රගන්‍ය සංගීතය සහ V. Srinivas Mohan ගේ දෘශ්‍ය ප්‍රයෝග මෙහි සාර්ථකත්වයට විශාල හේතුවක් වුණා.

චිත්‍රපටය තැබූ සුවිශේෂී වාර්තා කිහිපයක් සහ එහි ගෝලීය බලපෑම:

◉ තිරගත වූ සමයේ ඉන්දියාවේ අධිකම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපටය වූයේ මෙයයි.

◉ දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂා ත්‍රිත්වයෙන්ම ලොව පුරා තිර 3,000 කට අධික ප්‍රමාණයක එකවර ප්‍රදර්ශනය ඇරඹුවා.
◉ බොලිවුඩ් චිත්‍රපට අභිබවා යමින් 2010 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටය බවට පත්වීමට මෙය සමත් වුණා.

◉ 2010 වසරේ හොඳම චිත්‍රපට 50 අතරට IMDb දර්ශකයේ ඇතුළත් වූ එකම දෙමළ චිත්‍රපටය වන්නේ ද මෙයයි.

◉ IIM Ahmedabad ආයතනය විසින් ඔවුන්ගේ පශ්චාත් උපාධි පාඨමාලාවක් යටතේ ව්‍යාපාරික කෝණයෙන් සිනමා කර්මාන්තය හැදෑරීම සඳහා මෙම චිත්‍රපටය Case study එකක් ලෙස යොදාගනු ලැබුවා.

◉ Avengers: Age of Ultron චිත්‍රපටයේ Ultron රොබෝවරුන් එක්වී දැවැන්ත Ultron කෙනෙකු නිර්මාණය වන දර්ශනයක් සඳහා, Enthiran හි Chitti රොබෝවරුන් එක්වී දැවැන්ත පිඹුරෙකු බවට පත්වන දර්ශනය ආභාසය කරගත් බව Avengers සම-අධ්‍යක්ෂ Joe Russo පසුව අනාවරණය කළා. කාලය අධික වීම නිසා අවසන් සංස්කරණයේදී එම දර්ශනය ඉවත් කර තිබුණත් එය ඉන්දියානු සිනමාව හොලිවුඩයට කළ විශාල බලපෑමක් වුණා.

◉ 2015 තිරගත වූ Chappie හොලිවුඩ් චිත්‍රපටයේ රොබෝවරයා මිනිස් හැඟීම් හඳුනාගන්නා ආකාරය පවා විචාරකයින් විසින් Chitti ට සමාන කර තිබුණා.

හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහ හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඉන්දියානු ජාතික සම්මාන දෙකක් ද ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමට මෙය සමත් වුණා. මෙහි සාර්ථකත්වය මත 2018 වසරේදී මෙහි දෙවන චිත්‍රපටය 2.0 ලෙසින් තිරගත කෙරුණා.

වසර 16 ක් ගතවී තිබුණත්, Chitti රොබෝගේ මතකය, A. R. Rahman ගේ සංගීතය සහ එහි තිබූ දැවැන්ත තාක්ෂණික භාවිතාව නිසා Enthiran චිත්‍රපටය අදටත් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ සුවිශේෂීම සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. මෙය 2015 වසරෙන් පසුව තිරගත වූ චිත්‍රපටයක් වූවා නම්, බොහෝ දුරට දෙමළ සිනමාව තුළ රුපියල් කෝටි 1000 ආදායම් සීමාව පසු කළ පළමු චිත්‍රපටය බවට පත්වීමට මීට හැකියාව තිබුණ බවටයි බොහෝ විචාරකයන් සහ රසිකයන්ගේ මතය වන්නේ.