GTA 6 estimated to generate $2.36 billion in first day, setting new launch record

GTA 6 estimated to generate $2.36 billion in first day, setting new launch record

දත්ත විශ්ලේෂණ ආයතනයක් වන Sensor Tower පවසන පරිදි Grand Theft Auto VI (GTA 6) ක්‍රීඩාව ගෝලීය වශයෙන් නිකුත් වී පැය 24 කටත් අඩු කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.36 ක පමණ ආදායමක් උපයා ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මෙය ඉතිහාසයේ විශාලතම විනෝදාස්වාද නිර්මාණයක සමාරම්භක දින ආදායම් වාර්තාව බවට පත් වෙනවා. මීට පෙර එම වාර්තාව තබා තිබුනේ නිකුත් වී පැය 24ක් තුළ ඩොලර් මිලියන 815 ක ආදායමක් ලබාගනිමින් Grand Theft Auto V (GTA) වීඩියෝ ක්‍රීඩාවයි.

වසර 13 ක බලාපොරොත්තුවකින් පසු නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X|S සඳහා නිකුත් වූ මෙම Rockstar Games නිර්මාණය, pre-orders සහ පළමු දින මිලදී ගැනීම් හරහා පිටපත් මිලියන 24.5 - 24.58 ක් පමණ අලෙවි වී තිබෙනවා. මෙම අගය 2013 වසරේදී Grand Theft Auto V ක්‍රීඩාව පළමු දිනයේදී වාර්තා කළ ඩොලර් මිලියන 815 ක ආදායම මෙන් තුන් ගුණයකට ආසන්න වීම විශේෂත්වයක්.

Sensor Tower දත්තවලට අනුව සමස්ත අලෙවියෙන් 75% ක් පමණ PlayStation 5 හරහා සිදුව ඇති අතර, ඉතිරි 25% Xbox Series X|S වෙත හිමිව තිබෙනවා. BBC සහ Deadline වැනි ජාත්‍යන්තර මාධ්‍ය මෙම සාර්ථකත්වය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම විනෝදාස්වාද සමාරම්භය ලෙස හඳුන්වා දී ඇති අතර, Christopher Nolan ගේ The Odyssey චිත්‍රපටය (ඩොලර් බිලියන 1.8 ක් පමණ) ඇතුළු 2026 වසරේ ප්‍රධාන චිත්‍රපට කිහිපයකම සමස්ත සිනමාහල් ආදායම පවා මෙය දැනටමත් අභිබවා ගොස් තිබෙනවා.

Rockstar හි මව් සමාගම වන Take-Two Interactive මෙතෙක් නිල අලෙවි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේ වෙතත් මෙම ඉල්ලුම පෙර නොවූ විරූ මෙන්ම බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ මට්ටමක පවතින බවත්, නිල දත්ත ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් එහි ප්‍රධාන විධායක නිලධාරී Strauss Zelnick සඳහන් කර තිබෙනවා. 2026 වසර තුළදී මෙම ක්‍රීඩාව ඩොලර් බිලියන 3 ක අලෙවි සීමාව පසු කරනු ඇතැයි ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් අපේක්ෂා කරන අතර, ඉදිරියේදී multiplayer මාදිලිය නිකුත් වීමත් සමඟ තවත් අමතර ආදායමක් උපයා ගනු ඇති.

නිකුත් වූ මොහොතේ සිටම ඉහළ විචාරක ප්‍රසාදයක් හිමිව ඇති GTA 6 නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක පිරිවැයක් දරා ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මෙය මෙතෙක් නිෂ්පාදනය කළ මිල අධිකම වීඩියෝ ක්‍රීඩාව බවට ද පත්වනවා. Take-Two සමාගම නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ පසු Sensor Tower හි මෙම ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වෙනස් වීමට ඉඩ තිබෙනවා.