Iconic 1967 Bigfoot footage exposed as elaborate hoax after nearly 60 years

Iconic 1967 Bigfoot footage exposed as elaborate hoax after nearly 60 years

වසර 60 කට ආසන්න කාලයක් පුරා ලොව පුරා දැඩි කතාබහකට ලක්වූ 1967 වසරේ පටිගත කරන ලද ලෝක ප්‍රසිද්ධ Bigfoot වීඩියෝ දර්ශනය ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද ව්‍යාජ රංගනයක් බව අලුතින් සොයාගත් සාක්ෂි සහ පවුලේ සාමාජිකයින්ගේ පාපොච්චාරණ හරහා තහවුරු වී තිබෙනවා.

1967 ඔක්තෝබර් 20 වැනිදා Northern California හි Bluff Creek ප්‍රදේශයේදී Roger Patterson සහ Bob Gimlin විසින් රූගත කරන ලද තත්පර 59 ක මෙම 16mm දර්ශනය පිළිබඳව සත්‍යය අනාවරණය කෙරෙන්නේ Marq Evans විසින් අධ්‍යක්ෂණය කරන ලද Capturing Bigfoot නමැති නවතම වාර්තාමය චිත්‍රපටය මගිනුයි. මුල් වීඩියෝව නිකුත් වී වසර 59 ක් සපිරෙන හෙට (ඔක්තෝබර් 20) දිනයේදී මෙම වාර්තාමය චිත්‍රපටය සිනමාශාලාවල සහ Prime Video ඔස්සේ නිකුත් වීමට නියමිතයි.

වසර 50 කට වැඩි කාලයක් සේප්පුවක සඟවා තිබී සොයාගත් තත්පර 40 ක පෙරහුරු දර්ශන පෙළක් (Rehearsal reel) මෙම වාර්තාමය චිත්‍රපටයට ඇතුළත් කර තිබෙනවා. Kodak දර්ශන පටයේ සලකුණුවලට අනුව 1966 වසරේදී රූගත කර ඇති එම දර්ශනයේද, 1967 ප්‍රසිද්ධ වීඩියෝවේ “Patty” ලෙස හැඳින්වූ සත්ත්වයා ගමන් කරන ආකාරයෙන්ම දකුණු උරහිසට උඩින් පිටුපස හැරී බලන ආකාරය නිවැරදිව සටහන්ව තිබෙනවා. 1960 දශකයේ Boeing ආයතනයේ චිත්‍රපට අංශයේ සේවය කළ Norm Johnson නමැති කාර්මික ශිල්පියා සතුව තිබූ මෙම දර්ශන පටය ඔහුගේ මරණයෙන් පසුව දියණිය වන Teresa Brooks විසින් සොයාගෙන අධ්‍යක්ෂවරයා වෙත ලබා දී තිබෙනවා.

මීට අමතරව Roger Patterson ගේ පුත්‍රයා වන Clint Patterson ද මෙම වාර්තාමය චිත්‍රපටය හරහා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ඉපයීමේ අරමුණින් තම පියා විසින් මෙම ව්‍යාජ වීඩියෝව නිර්මාණය කළ බවයි. රූගත කිරීම්වලින් පසුව Washington හි Yakima ප්‍රදේශයේ පිහිටි තම නිවස පිටුපස බැරලයක දමා පියා විසින් මෙම Bigfoot ඇඳුම (Costume) පුළුස්සා දමන ආකාරය තමා දුටු බවත්, මව වන Patricia Patterson ද මීට දශකයකට පමණ පෙර මෙම රැවටීම පිළිබඳව තමාට තහවුරු කළ බවත් ඔහු හෙළි කර තිබෙනවා.

කෙටි චිත්‍රපටයක් සඳහා බව පවසමින් තමන්ව මෙම Bigfoot ඇඳුම ඇඳීම සඳහා යොදාගත් බවට මේ වන විට 80 වැනි වියේ පසුවන Bob Heironimus විසින් වසර ගණනාවක් පුරා සිදු කළ ප්‍රකාශයද මෙම නව සාක්ෂි සමඟ තහවුරු වී තිබෙනවා. 1972 වසරේදී මියයන තෙක්ම Roger Patterson මෙය සත්‍ය සිදුවීමක් බව පැවසූ අතර, දශක 6 කට ආසන්න කාලයක් පුරා Bigfoot පිළිබඳව ලොව පුරා පැවති ප්‍රබලතම දෘශ්‍ය සාක්ෂිය මෙම හෙළිදරව්වත් සමඟ බිඳ වැටී තිබෙනවා.