කියවීම මිනිසා සම්පූර්ණ කරයිද?: යොවුන් සාහිත්‍යයේ අඳුරු පැතිකඩ

කියවීම මිනිසා සම්පූර්ණ කරයිද?: යොවුන් සාහිත්‍යයේ අඳුරු පැතිකඩ

"යහපත් පුරුදු වඩාත් පරිපූර්ණ වන්නේ ඒවා ළමා වියේදී ආරම්භ කළ විටය. අප එය අධ්‍යාපනය යැයි හඳුන්වන්නෙමු... එලෙසම, කියවීම මිනිසා සම්පූර්ණ කරයි."
- ෆ්‍රැන්සිස් බේකන් (Francis Bacon)-

ෆ්‍රැන්සිස් බේකන්ගේ මේ ප්‍රකට කියමන් යුගළයම අදටත් අපේ සමාජයේ පරමාදර්ශයන්ය. සාම්ප්‍රදායිකව අප විශ්වාස කරන්නේ යහපත් පුරුද්දක් ලෙස පොතපත කියවීම තුළින් දරුවෙකුගේ මනස පරිපූර්ණ වන බවයි.

තම දරුවන් ජංගම දුරකථන තිර හෝ පරිගණක (Screens) ඉදිරිපිට කාලය ගත කරනවාට වඩා, කාමරයට වී මුද්‍රිත පොතක් කියවනවා දැකීම අදටත් ශ්‍රී ලාංකීය දෙමාපියන් මහත් ආඩම්බරයෙන් කතා කරන කරුණකි. "මගේ ළමයා නම් පොත් ගුල්ලෙක්, එයාට ලෝකේ වෙන කිසිදෙයක් ඕනෙ නෑ පොතක් තිබුණොත්" යැයි පවසන දෙමාපියන් අපට කොතෙකුත් හමුවේ. ඔවුන් සිතන්නේ එය දරුවා ලබන විශිෂ්ටතම අධ්‍යාපනය බවයි.

නමුත්, කිසිදු නියාමනයකින් තොරව ළමයින්ගේ අතට පත්වන ඒ වචන පිටුපස සැඟවී ඇත්තේ කුමක්දැයි අප මොහොතක් හෝ සිතා බැලුවාද? අද වන විට, "හොඳම දේ දරුවන්ට" යන උදාර සංකල්පය, වාණිජ අරමුණු සහ බලහත්කාරී මතවාදයන් විසින් අමු අමුවේම ඝාතනය කරමින් සිටියි.

අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ සමාජය කතා කරන්න බිය වන, නමුත් වහාම කතා කළ යුතු ඒ අඳුරු පැතිකඩ ගැනයි.

යොවුන් විය ඉලක්ක කරන ඩිජිටල් සහ මුද්‍රිත පාතාලය

මේ ඛේදවාචකය ගැන කතා කිරීමට පෙර, අප 'දරුවා' යන්න නෛතිකව සහ සමාජීයව අර්ථ දක්වා ගත යුතුය. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 1 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ පැහැදිලිවම "වයස අවුරුදු 18 ට අඩු සෑම මනුෂ්‍යයකුම" ළමයෙකි. නමුත් සමාජීය සහ මනෝවිද්‍යාත්මක මිනුම්දඬුවලට අනුව මෙය තවත් සියුම්ව බෙදී යයි.

• එනම්, වයස අවුරුදු 12-13ට අඩු කාලය 'ළමා විය' (Childhood) ලෙසත්,
• වයස අවුරුදු 13 සිට 19 දක්වා කාලය 'නව යොවුන් විය' (Adolescence / Teenagers) ලෙසත්,
• ඉන්පසු වයස අවුරුදු 29 දක්වා පමණ කාලය 'යොවුන් විය' (Youth) ලෙසත් හඳුන්වයි.

මෙම 'නව යොවුන් විය' යනු දරුවෙකුගේ ලිංගික කුතුහලය, හැඟීම් සහ අනන්‍යතාවය (Identity) වේගයෙන් වෙනස් වන, අතිශය අවදානම් සහ සංවේදී කඩඉමකි.

නීතියෙන් උපරිම රැකවරණය හිමිවිය යුතු 'ළමයින්' ලෙස සැලකෙන මේ වයස් කාණ්ඩයේ දරුවන් අතර වර්තමානයේ වැඩියෙන්ම අලෙවි වන පොත් බවට පත්ව ඇත්තේ මොනවාදැයි ඔබ දන්නවාද? ඒවා සම්භාව්‍ය සාහිත්‍ය කෘති හෝ ළමා කතාන්දර නොවේ. අද වෙළඳපොලේ වැඩියෙන්ම අලෙවි වන්නේ අතිශය ප්‍රචණ්ඩකාරී, ලිංගික බලහත්කාරකම් සහ අන්තගාමී කායික වධහිංසා සාමාන්‍යකරණය කරන BL (Boys' Love) සහ Dark Romance ගණයේ නවකතාය.

අද වන විට මේ ඩිජිටල් පාතාලයේ ප්‍රධානතම මෙවලම බවට පත්ව ඇත්තේ ටික්ටොක් (TikTok) යෙදුම හරහා ක්‍රියාත්මක වන 'BookTok' සංස්කෘතියයි. ඇල්ගොරිතමයන් මගින් වයස ගැන කිසිදු තැකීමක් නොකර, නීතිය ඉදිරියේ තවමත් 'ළමයින්' ලෙස සැලකෙන මේ නව යොවුන් දරුවන්ගේ ස්මාර්ට්ෆෝන් තිර මතට අතිශය විකෘති ලිංගික සාහිත්‍යය, මනෝවිද්‍යාත්මක උගුල් (psychological traps) සහ ප්‍රචණ්ඩත්වය ආදරය ලෙස උත්කර්ෂයට නංවන (romanticize) වීඩියෝ බලහත්කාරයෙන් තල්ලු කරනු ලබයි.

මෙහි ඇති භයානකම තත්ත්වය නම්, මෙය දෙමාපියන්ගේ නියාමනයන් (Parental Regulations) සහ ආරක්ෂක බැමි ඉතා සූක්ෂමව මඟහැර යාමයි. හදිසියේ හෝ දෙමාපියෙකු දුරකථනය පරීක්ෂා කළහොත්, ඔවුන් දකින්නේ දරුවා අන්තර්ජාලය හරහා 'පොත් ගැන විස්තර' (Book recommendations) බලන බවයි. දරුවා කියවන්නේ සාමාන්‍ය නවකතාවක් යැයි සිතා දෙමාපියන් සැනසුම් සුසුම් හෙළති. නමුත් දෙමාපියන්ගේ මේ ඩිජිටල් නූගත්කම (Digital illiteracy) නැමැති දුර්වලතාවයෙන් රිංගා යන BookTok රැල්ල, දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම සෝදාපාළුවකට ලක් කරයි. දෙමාපියන්ට නොදැනීම දරුවාගේ මනසට විකෘතිතා ඇතුළු කරන පිටුපස දොරටුව බවට අද BookTok පත්වී හමාරය.

මීට වසර කිහිපයකට පෙර මෙවැනි දෑ Wattpad වැනි ඩිජිටල් අවකාශවල පමණක් සීමා වී තිබුණත්, BookTok හරහා Viral වන මෙම අතිශය භයානක විකෘති ලිංගික සාහිත්‍යය අද වන විට කිසිදු 18+ වයස් සීමා ලේබලයකින් තොරව, සාමාන්‍ය මුද්‍රිත පොත් ලෙස මුද්‍රණය කර දරුවන්ගේ සාක්කුවේ මුදලට සරිලන සේ විකිණීමට ප්‍රකාශකයින් කටයුතු කර ඇත. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පවා කුඩා දරුවන් සහ නව යොවුන් වියේ දැරියන් පොදි කකා මිලදී ගන්නේ මෙවැනි ලිංගික වධහිංසා 'ආදරය' ලෙස අර්ථකථනය කළ පොත්ය. දෙමාපියන්ගේ සාම්ප්‍රදායික 'පොත් කියවීම හොඳයි' යන අන්ධ විශ්වාසය, ප්‍රකාශකයින් විසින් මූල්‍යමය වාසි සඳහා මෙසේ ඉතාම සූක්‍ෂමව සූරාකමින් සිටියි.

බටහිර ලෝකයේ නියාමනය සහ අපේ නොහැකියාව

අපේ සමාජයේ බොහෝ දෙනෙක් "මේවා බටහිරින් එන සංස්කෘතික ආක්‍රමණ" යැයි කියමින් බටහිරටම බැන වදිති. නමුත් උපහාසය නම්, මේ ඊනියා 'බටහිර' රටවල් තම දරුවන්ව මේ උගුල්වලින් බේරාගැනීමට දැඩි නීති පද්ධතීන් ක්‍රියාත්මක කිරීමයි.

පොත් ප්‍රකාශනය ගත් කල, ඔස්ට්‍රේලියාවේ 'වර්ගීකරණ මණ්ඩලය' (Australian Classification Board) මගින් ප්‍රචණ්ඩකාරී සහ අසභ්‍ය කරුණු සහිත පොත් 'Category 1 හෝ Category 2 Restricted' ලෙස දැඩිව වර්ගීකරණය කරයි. ඒවා කුඩා දරුවන්ට විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. ඇමරිකා එක්සත් ජනපදයේ වුවද, පාසල් සහ පුස්තකාල මණ්ඩල (School & Library Boards) මගින් දරුවන්ගේ අතට පත්වන පොත් දැඩි විගණනයකට ලක් කරන අතර, වගකිවයුතු පොත් සාප්පු හිමියන් කිසිවිටෙකත් ළමා පොත් රාක්කවල මේ Dark Romance සාහිත්‍යය අසුරන්නේ නැත.

අනෙක් අතට, BookTok වැනි ඩිජිටල් උගුල්වලින් දරුවන් බේරාගැනීමට ද දියුණු රටවල් මේ වනවිටත් නීති ගෙනැවිත් හමාරය.

එක්සත් රාජධානියේ නව 'මාර්ගගත ආරක්‍ෂණ පනත' (UK Online Safety Act) සහ යුරෝපා සංගමයේ 'ඩිජිටල් සේවා පනත' (EU Digital Services Act - DSA) මගින් ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය සමාගම්වලට දැඩි කොන්දේසි පනවා ඇත. විශේෂයෙන්ම ළමයින්ට හානිකර විය හැකි (උදා: ස්වයං-හිංසනය, ආහාර අරුචිය සහ අසභ්‍ය දෑ ප්‍රවර්ධනය කරන) ඇල්ගොරිතමයන් ළමයින් ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම එහිදී මුළුමනින්ම තහනම්ය. වයස තහවුරු කිරීමේ (Age Verification) දැඩි ක්‍රමවේද හරහා අසභ්‍ය සහ ප්‍රචණ්ඩකාරී කතාන්දර දරුවන්ගේ තිරවලට පැමිණීම ඔවුන් නීතියෙන් අවහිර කර ඇත.

සෙසු ලෝකය (ලෝකයේ ඇත්තේ ඇමරිකාව සහ ලංකාව පමණක් නොවේ...) එසේ තම දරුවන්ගේ මනසට 'අත්යාවශ්ය' වැටකඩොලු බඳිද්දී, අපේ රටේ දරුවන්ගේ මනසට ඇතුළු වීමට ඕනෑම ජරාවකට අපි දොරවල් විවර කර දී ඇත්තෙමු.

ගේට්ටුකරුවන්ගේ කුහකකම සහ "හතේ පොතේ" ඛේදවාචකය

මෙම ඛේදවාචකය තේරුම් ගැනීමට නම් අප බටහිර සංස්කෘතිය සහ අපේ සංස්කෘතිය අතර ඇති වෙනස වටහාගත යුතුය. බටහිර ලෝකයේ දරුවන් යොවුන් වියට එළඹෙන්නට පෙර සිය අයිතිවාසිකම්, පුද්ගලික සීමාවන් (Boundaries), ආරක්‍ෂිත ක්‍රමවේද සහ ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක් පාසල සහ නිවස තුළින්ම ලබා ගනී. එමගින් තමාගේ ලිංගික දිශානතිය කුමක්දැයි හඳුනාගැනීමටත්, ලිංගික හිංසනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමටත් ඔවුන්ට මූලික පදනමක් ලැබේ. ඔවුන්ට වයස් වර්ගීකරණයන්ගේ අගය තේරෙන්නේ ඒ නිසාය.

නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද? මෙරට පාසල්වල විද්‍යා විෂය නිර්දේශයේ ඇති ප්‍රජනනය පාඩම පවා උගන්වන්නේ නැතිව මඟහැර යන ගුරුවරුන් සිටින සමාජයකි මේ.

මීට කාලයකට පෙර පාසල් දරුවන්ට විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මකව අධීක්ෂණය වූ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම උදෙසා "හතේ පොත" නමින් වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථයක් පාසල්වලට හඳුන්වා දීමට උත්සාහ කළේය. එවිට සිදුවූයේ කුමක්ද? මෙරට ඊනියා සංස්කෘතික සහ ආගමික භාරකරුවන්, පීතෘමූලික සමාජයේ නායකයින් සහ චීවරධාරීන් ඊට එරෙහිව මහ පාරට බැස්සෝය. දරුවන් "විනාශ වේ යැයි" පවසමින් ඔවුහු එම නීත්‍යානුකූල අධ්‍යාපනික මැදිහත්වීම (Supervised context) මුළුමනින්ම තහනම් කර දැමූහ.

එහෙත්, එදා හතේ පොතට එරෙහිව කෑගැසූ ඒ සංස්කෘතික භාරකරුවන් අද කොහේද?

පෞද්ගලික සමාගම් විසින් කිසිදු අධීක්ෂණයකින් තොරව (Unsupervised context) අතිශය විකෘති ලිංගික සාහිත්‍යයක් කුඩා දරුවන්ට විකිණීම ගැන ඔවුන් අද මුනිවත රකිති. ළමයින්ගේ අතට පත්වන මේ පොත්වල අන්තර්ගතය ගැන සොයාබලන්නට අර එදා කෑගැසූ සංස්කෘතික පොලිස්කාරයින් අද නැත. නිවැරදි අධ්‍යාපනය දීමෙන් දරුවන් විනාශ වෙතැයි තහනම් පැනවූ සමාජය, අද මුදලට විකිණෙන මානසික හිංසනයන් හමුවේ දරුවන්ව සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඇත.

ඇරත් නියාමනය වූ, අධීක්ෂණය වූ අධ්‍යාපනයක් එපා කියූ සමාජයකට, මේ පෞද්ගලික සමාගම් විසින් දරුවන්ට ලබාදෙන විකෘති ලිංගික අත්දැකීම් ගැන ප්‍රශ්න කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් ඉතිරිව ඇද්ද?

බලහත්කාරී මතවාදයන් සහ සමානතාවයේ මායාව

මෙම මානසික ආක්‍රමණය හුදෙක් මුද්‍රිත පොත්වලට පමණක් සීමා වී නැත. අද වන විට බටහිරින් පැමිණි අන්තගාමී සමාජ ව්‍යාපාර (Heavy Pride movements / DEI Culture) විසින් දරුවන්ගේ සහ තරුණ පරපුරේ මනස බලහත්කාරයෙන් හැඩගස්වමින් සිටියි.

අපි පැහැදිලිවම කිව යුතු දෙයක් තිබේ; අප කිසිවෙකුගේ ලිංගික දිශානතියකට හෝ අනන්‍යතාවයකට විරුද්ධ නැත. ගරු කළ යුත්තේ සෑම මනුෂ්‍යයෙකුගේම ස්වාධීනත්වයට සහ කැමැත්තටයි (Consent). නමුත් මේ නවීන සමාජ ව්‍යාපාර තුළින් පැන නගින අන්තවාදී බලපෑම් උදෙසා අප විවෘතව ප්‍රශ්න කළ, එරෙහි විය යුතුමය.

• ගෞරවය යනු උපයා ගත යුත්තකි: ඔබගේ ලිංගික දිශානතිය කුමක් වුවත්, ඔබ ඔබේ ආගම, ජාතිය හෝ ලිංගිකත්වය ආයුධයක් (Weaponize) කර නොගත යුතුය. ඔබ සමාජයෙන් විශේෂ යැයි සම්මත කරගත යුතු නැත. අප ඔබට ගරු කරන්නේ ඔබ යහපත් මනුෂ්‍යයෙකු නම් පමණි. ඔබ සැබැවින්ම පිදිය යුත්තෙක්ම නම් පමණි. ඔබ හුදෙක් විවිධත්වයේ DEI කවයට අයත් වූ පමණින් අපෙන් විශේෂ ගෞරවයක් හෝ ඔබව 'පූජනීය' වස්තුවක් ලෙස සැලකිය යුතු යැයි බලාපොරොත්තු වීමට ඔබට කිසිදු අයිතියක් නැත.

• බලහත්කාරය ප්‍රතික්‍ෂේප කිරීම: තමන්ගේ කවය තුළ (Inside your circle) තමන්ට එකඟ වන ඕනෑම අයෙකු සමඟ තම අදහස් සැමරීමට, ඕනෑම අමුතු දෙයක් කිරීමට ඔබට අයිතියක් ඇත. නමුත් රැවටීමෙන්, මූල්‍යමය අල්ලස් දීමෙන් හෝ අපහාස කිරීමෙන් තමන්ගේ මතවාදයට පිටතින් සිටින අන් අයව බලහත්කාරයෙන් යටත් කර ගැනීමට ඔබට අයිතියක් නැත.

මෙය සරලව තේරුම් ගනිමු: යම් හෙයකින් රිය අනතුරකින් මගේ පාද අහිමි වුවහොත්, මා ඊළඟට උත්සාහ කරන්නේ අන් අයවද බලහත්කාරයෙන් රිය අනතුරුවලට ලක් කර ඔවුන්ගේද පාද අහිමි කිරීමට නොවේ; මා කරන්නේ අන් අයව ඉන් ආරක්‍ෂා කිරීමයි.

තමන්ට අහිමි වූ දේ හෝ තමන්ගේ මතවාදය බලහත්කාරයෙන් අන් අය මත පැටවීම සමානතාවය නොව ම්ලේච්ඡත්වයයි.

• සමානතාවයේ පරස්පරය: සමානත්වය ඉල්ලා සිටින සුළුතර මතවාදයක්, බහුතර සමාජයට ඇතුළු වන විට විවේචන භාරගැනීමට සූදානම් විය යුතුය. නූතන නියම ස්ත්‍රීවාදීන් (Feminists - not femin@zis) සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටින විට, ඔවුන් සමාජයෙන් සම්ප්‍රදායික විශේෂ සැලකිලි (Chivalry) අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්නේ නැත. ඔවුන්ට Princess treatment එකක් ලැබුණොත් එය අගය කරනු ඇත, නමුත් සමානත්වය ඉල්ලා සිටින ගමන් වාහනයේ දොර ඇරදෙන තුරු බලා සිටින්නේ නැත. එලෙසම, ඔබ LGBTQ+ හෝ වෙනත් සුළුතර කණ්ඩායමක් වූ පමණින් ඔබගේ සුළුතර මතවාදයන් (minor ideals) සමාජය මත බලහත්කාරයෙන් පටවමින්, කිසිදු විවේචනයකින් තොරව ඒවා භාරගත යුතුයැයි විශේෂ සමාජීය මුක්තියක් ඉල්ලා සිටිය නොහැක.

විශ්වවිද්‍යාල නවකවදය සහ සාහිත්‍යයේ දෙබිඩි පිළිවෙත

මීට පෙර ශ්‍රී කොම් ප්‍රමුඛ පුරෝගාමීහු ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන නවකවදය (Ragging / Bullying) දැඩිව විවේචනය කරමින් සමාජයට එක්තරා ප්‍රබල අදහසක් අවධාරණය කළහ.

එනම්, "යම් පුද්ගලයෙකුගේ ස්වාධීන කැමැත්තක් (Consent) නොමැතිව, ඔහුට බලහත්කාරයෙන් ගීතයක් ගායනා කිරීමට සැලැස්වීම හෝ තමා ගැන හඳුන්වාදීමේ කතාවක් කිරීමටවත් බලකළ නොහැකි" බවයි. එසේම අතිශය අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට, ජ්‍යෙෂ්ඨ-කණිෂ්ඨ බව සංකේතවත් කිරීම සඳහා හෝ කිසිදු සිසුවෙකුට බලහත්කාරයෙන් ඇඳුම් පැළඳුම් (Dress code) නියම කිරීම පවා මානසික හිංසනයක් බව ඔවුහු සමාජයට පෙන්වා දුන්හ.

මෙය කියවන ඔබ මොහොතක් සිතන්න.

වයස අවුරුදු විස්සක (ට වඩා වැඩි) , සමාජය ගැන යම් අවබෝධයක් ඇති විශ්වවිද්‍යාල සිසුවෙකුට ඔහුගේ කැමැත්තෙන් තොරව ඇඳුමක් අඳින්නට බල කිරීම පවා 'මානසික හිංසනයක්' ලෙස දැන් පිළිගන්නා සමාජයක, හරි වැරැද්ද කුමක්දැයි තේරුම් ගැනීමටවත් නොහැකි, අවුරුදු 18න් පහළ, දරුවන්ගේ මනසට අතිශය ප්‍රචණ්ඩකාරී සහ ලිංගික බලහත්කාරකම් සහිත සාහිත්‍යයක් පැටවීම කෙතරම් ම්ලේච්ඡද?

මේ ක්‍රියාත්මක වන්නේ සමාජයේ ඇති අතිශය භයානක දෙබිඩි පිළිවෙතයි (Double standard).

වැඩිහිටි සිසුන්ගේ 'කැමැත්ත' වෙනුවෙන් පෙනී සිටින සමාජයම, පිටතින් අහිංසක සහ ආකර්ෂණීය කවර යොදාගනිමින් දරුවන්ව රවටා, ඔවුන්ගේ මනසට මේ කුණු බලහත්කාරයෙන් කවන විට නිහඬව සිටින්නේ කෙසේද?

තමන් කුමක් කියවනවාදැයි තේරුම් ගැනීමට තරම් බුද්ධිමය මට්ටමක් නොමැති දරුවන්ට, සුන්දර කවර පිටුපස සඟවා අසභ්‍යත්වය විකිණීම යනු විශ්වවිද්‍යාල නවකවදයටත් වඩා බිහිසුණු අපරාධයක් නොවන්නේද?

යල්පැන ගිය නීතිය, ළමා ප්‍රඥප්තිය සහ අපගේ වගකීම

මෙම මානසික සහ සමාජීය බලහත්කාරකම්වලින්, විශේෂයෙන්ම කුඩා දරුවන් අතට පත්වන අසභ්‍ය සහ ප්‍රචණ්ඩකාරී සාහිත්‍යයෙන් ඔවුන්ව බේරාගැනීමට නම් අපගේ නීති පද්ධතියේ ඇති හිඩැස් අප තේරුම් ගත යුතුය.

වර්තමානයේ මේ සඳහා භාවිත වන ප්‍රධාන නීතිය වන 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනත අද වන විට සම්පූර්ණයෙන්ම යල්පැන ගිය එකකි. එහි 2 වන වගන්තියට අනුව පැහැදිලිවම,
"for purposes of or by way of trade or for distribution or public exhibition to make or produce or have in possession... obscene writings... printed matter" (වෙළඳාම, බෙදාහැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සඳහා අසභ්‍ය ලියවිලි සහ මුද්‍රිත ද්‍රව්‍ය සෑදීම, නිපදවීම හෝ සන්තකයේ තබාගැනීම)
වරදක් බව නීතියේ දක්වා තිබේ. නමුත් ඛේදවාචකය නම්, දරුවන්ගේ මනස විනාශ කරන මෙම ක්‍රියාව වෙනුවෙන් එහි නියම කර ඇති උපරිම දඬුවම,
"with a fine not exceeding two thousand rupees or imprisonment... for a term not exceeding six months" (රුපියල් දෙදහසකට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඬුවමක්) වීමයි.

පොත් දහස් ගණනින් විකුණා, එක් ටෙලි කොටසකට මිලියන ගණනින් Views ලබා, ලක්ෂ ගණනින් ලාභ ලබන වත්මන් වාණිජ Entertainment මාෆියාව රුපියල් 2000ක දඩයකින් පාලනය කළ හැකිද?

ඒ වෙනුවට අප වහාම බලගැන්විය යුත්තේ ශ්‍රී ලංකා රජය ද පිළිගෙන ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියයි (Child Rights Charter).

අප ඉහත සාකච්ඡා කළ ඛේදවාචකයන්ගෙන් දරුවන් මුදවා ගැනීම සඳහා එහි 17 වන වගන්තියේ (ඉ) උප වගන්තිය මගින් ඉතා පැහැදිලිව රජයට මෙලෙස බල කර සිටියි:
"යම් ළමයෙකුගේ යහපතට හානිකරවන තොරතුරුවලින් සහ ද්‍රව්‍යවලින් ළමයාගේ ආරක්‍ෂාව සඳහා උචිත ක්‍රියාමාර්ග වර්ධනය කිරිමට; රජය දීරි ගැන්විය යුතු ය."

එපමණක් නොව, එම ප්‍රඥප්තියේම 3(2) වගන්තිය මගින් සමස්ත පද්ධතියටම මෙසේ අවධාරණය කරයි:
"කවර හෝ යම් සමාජ සුබසාධන ආයතනයක්, අධිකරණයක්, පරිපාලන අධිකාරියක් හෝ යම් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් විසින් කටයුතු කරනු ලැබූව ද ළමයෙකු සම්බන්ධයෙන් වූ යම් කාරණයක දී, නඩුවක දී හෝ කටයුත්තක දී ළමයාගේ උපරිම යහපත මූලික සැළකිල්ල විය යුතුය."

මුදලට කෑදරකමින්, වයස් සීමාවකින් තොරව දරුවන්ට අසභ්‍ය දේ විකුණන සමාගම්වලට එරෙහිව කටයුතු කිරීමටත්, දැඩි වාරණ නීති ගෙන ඒමටත් මෙම ප්‍රඥප්තිය අපට ඇති ප්‍රබලතම අවියයි.

විසඳුම: ක්‍රමවේදය යාවත්කාලීන කිරීම

කරුණු පමණක් විවේචනය කරමින් සිටීමෙන් ඵලක් නැත. සැබෑ ලෝක ළමා දිනයක් සැමරීමට නම්, අප මේ පද්ධතිය වහාම නිවැරදි කළ යුතුය:

• අධ්‍යාපනය පළමුව: දරුවන් සමාජයට නිරාවරණය වීමට පෙර, ඔවුන්ගේ අයිතිවාසිකම්, සීමාවන් සහ විද්‍යාත්මක අධ්‍යාපනය පාසල තුළින්ම (Supervised Context) ලබා දිය යුතුය.
• අසභ්‍යත්වය නැවත අර්ථ දැක්වීම: වැඩිහිටි සාහිත්‍යය තහනම් කිරීම ප්‍රායෝගික නැත. නමුත් ළමයින් ඉලක්ක කරගනිමින්, ළමා මනසට නුසුදුසු දේ මුද්‍රණය කර විකිණීම නීතිය ඉදිරියේ දරුවන්ට අදාළව 'අසභ්‍ය සාහිත්‍යය' ලෙස යළි අර්ථ දැක්විය යුතුය.
• වර්ගීකරණ පද්ධතියක් ගෙන ඒම: බටහිර රටවල ළමයින්ට පොත් හෝ මාධ්‍ය ලබාදීමේදී මට්ටම් කිහිපයක වර්ගීකරණයන් ඇති අතර නිකම්ම "18+" යැයි සඳහන් කර අත පිසදා ගන්නේ නැත. ශ්‍රී ලංකාවේ ද මුද්‍රිත පොත් සහ සාහිත්‍යය සඳහා මෙම අනිවාර්ය වයස් කාණ්ඩ වර්ගීකරණය සහ ලේබල් කිරීම නීතිගත කළ යුතුය.
• දැනට පවතින දෑ යළි නියාමනය සහ තහනම් කිරීම : අනාගතයට නීති ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නැත. දැනටමත් පොත් සාප්පුවල සහ ළමා අංශවල කිසිදු බාධාවකින් තොරව විකිණීමට ඇති මෙවැනි කෘති වහාම විගණනයකට ලක් කළ යුතුය. අලුත් නීති රාමුව යටතේ ඒවා යළි නියාමනය කර, අනිවාර්ය ලේබල් ගැසීමට හෝ ළමයින්ට විකිණීම සපුරා තහනම් කිරීමට අවශ්‍ය නෛතික තහනම් (Necessary Prohibitions) වහාම ක්‍රියාත්මක කළ යුතුය.

මෙහිදී සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍ය සහ ඩිජිටල් නාලිකා හැසිරෙන අතිශය අවස්ථාවාදී ආකාරය අප අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුය:

• ​ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා (Mainstream TV): සංස්කෘතික සදාචාරය ගැන පුරසාරම් දොඩවන ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා, ළමා පරපුර මුහුණ දෙන මේ සැබෑ ඛේදවාචකය පිළිබඳව කිසිදු ගවේෂණාත්මක හෝ විචාරශීලී වැඩසටහනක් නොකරයි. ඔවුන් කරන්නේ එක්කෝ දේශපාලන න්‍යායපත්‍රවලට මුවා වී නිහඬව සිටීමයි; නැතහොත් තමන්ගේ TRP රේටිංස් වෙනුවෙන් කිසිදු වයස් වර්ගීකරණයකින් තොරව ප්‍රචණ්ඩත්වය සහ විකෘතිතා සමාජගත කරන ටෙලිනාට්‍ය ප්‍රවර්ධනය කිරීමයි.
• ​YouTube සහ TikTok නාලිකා (BookTubers & Content Creators): අනෙක් අතට, සමාජ මාධ්‍යවල සිටින ඇතැම් 'BookTubers' සහ TikTok නිර්මාණකරුවන් කරන්නේ කුමක්ද? ඔවුන් Views, Likes සහ ප්‍රකාශකයන්ගේ අනුග්‍රාහකත්ව (Sponsorships) වෙනුවෙන්, කිසිදු Content Warning හෝ Age Restriction එකකින් තොරව මේ විකෘති, ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් 'Trending Romantic Books' ලෙස උත්කර්ෂයට නංවති. Clickbait මාතෘකා, ආකර්ෂණීය Thumbnail සහ අසභ්‍ය කොටස් නාට්‍යානුසාරයෙන් කියවා පෙන්වමින්, නොමේරූ ළමා මනස මේ විෂ සහිත සාහිත්‍යය වෙත ඇද දමන ප්‍රධානතම තැරැව්කරුවන් බවට අද මේ ඩිජිටල් නාලිකා පත්ව ඇත.

​එබැවින් නියාමනය මුද්‍රිත පොත් සාප්පුවට පමණක් සීමා නොවිය යුතුය. දරුවන් ඉලක්ක කරගනිමින් මේ අසභ්‍ය සාහිත්‍යය ප්‍රවර්ධනය කරන YouTube සහ TikTok නාලිකා මෙන්ම, වගකීම පැහැරහරින විද්‍යුත් මාධ්‍යද මෙම නව නියාමන රාමුවට ඍජුවම වගකිව යුතුය.

"හොඳම දේ දරුවන්ට" යනු දරුවන්ට හුදෙක් බණ කියා අවවාද කර සෙල්ලම් බඩුවක් හෝ පොතක් ගෙනැවිත් දීම නොවේ. එය, අන්තවාදී සහ බලහත්කාරී මතවාදයන්ගෙන් ඔවුන්ගේ මනස ආරක්ෂා කර, විචාර බුද්ධියෙන් ලෝකය දකින්නට ඔවුන්ට නිවැරදි පදනමක් නිර්මාණය කර දීමයි.

ෆ්‍රැන්සිස් බේකන් කීවා සේ, කියවීමෙන් මිනිසා 'සම්පූර්ණ' වන්නේ ඔහු කියවන්නේ කුමක්දැයි හඳුනාගැනීමට තරම් නිදහස් හා සුරක්‍ෂිත බුද්ධියක් ඔහුට ලබා දුනහොත් පමණි.

කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තිබෙන බැවින් කියවා කෝප නොවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමු.

යළි හමු වන තුරු..!

-SriCOM ලෝක ළමා දින පණිවුඩය-

Disclaimer: This article is intended solely for educational, analytical, and policy-discussion purposes. It does not intend to infringe upon anyone's privacy, nor does it promote hate speech, discrimination, or malice against any individual, community, sexual orientation, or gender identity. The critiques presented are directed at systemic issues, commercial practices, and ideological coercion, with the primary objective of advocating for child protection and regulatory reform. All views expressed are part of an intellectual discourse and the fundamental right to freedom of expression.