මායාකාරියන් කොසු මත පියාඹන්නේ ඇයි???

මායාකාරියන් කොසු මත පියාඹන්නේ ඇයි???

මායාකාරියෙක් හෝ witch කෙනෙක් හිතේ මවාගන්න උනොත් බහුතරයකට මැවෙන්නේ උල් වෙච්චි පරණ තොප්පියක් දාන් ඉන්න මහළු කාන්තාවක්. ඒත් එක්කම අනිවාරෙන් කොස්සක් උඩ ඉන්න රූපෙකුත් මැවෙනවා නේ? අපි චිත්‍රපටි ගණනාවක් තුලින් වෙනස් වෙනස් විදිහේ මායාකාරියො දැකලා තියෙනවා. සමහර වීච් ලා ඔය කියපු රූපයට හාත්පසින්ම වෙනස් සාමාන්‍ය පුද්ගලයෙක් වගේ පෙනුනු චිත්‍රපටි පවා තිබුනා. ඒත් අපි කොයි තරම් වෙනස් විදිහෙ මායාකාරියෝ ටෙලි තිරයේ දැක්කත්, කොස්සක් උඩ පියාඹන මායාකාරිය කියන්නේ අපේ හිත පතුලෙම තැන්පත් වෙච්ච ඡායාරුවක්.

ඉතින් ඔයාලට නිකමටවත් හිතුනද මේක… ගෙවල් අස්සෙ කොයිතරම් බඩු මුට්ටු තිබිලත් මායාකාරියො එක්ක කොස්සක් සම්බන්ධ උනේ කොහොමද?
මායාකාරියන් ගැන ඈත අතීතයේ ඉඳන් මිනිස්සු අතර විවිධ මත අදහස් පැතිරුනා. ඒත් එක්කම මේ මායාකාරියන් කොසු මත ගමන් කරන අදහසත් පැතිරෙන්න පටන් ගන්නවා. ඒත් හේතුව?

ඉළපතේ ඉතිහාසය

ඉළපත පාවිච්චිය ආරම්භ වෙන්නේ කොයි කාලෙද කියලාවත්, එය නිර්මාණය වෙන්නේ කවදද කියලාවත් නිශ්චිත සඳහනක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. නමුත් නිවෙස් අතුගෑමේ පිලිවෙත නම් ඈත අතීතයේ ඉඳලම තිබුනු පුරුද්දක්. කෝටු කැබලි, වේලුනු වල් පැල හෝ ස්වාභාවික කෙඳි වර්ග එකතු කර දර ලිප් වලින් අළු අයින් කිරීමට භාවිතා උනු බව කියැවෙනවා. A.J. Bryan Lowder පවසන්නේ නම් මේ ගෘහස්ථ සිරිත 1-2 AD දක්වා පැරණි වන බයිබලයේ නව තෙස්තමේන්තුවේ (New Testament) පවා සඳහන් වන බවයි.

ඉළපතට ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා වන “broom” කියන වචනය හැදෙන්නේ අතීතයේ අතුගෑම සඳහා භාවිතා උනු පඳුරකින් උපුටාගත් නමකින්මයි. ඊට පෙර භාවිතා කල “besom” යන වචනය වෙනුවට සෙමින් “broom” කියන වචනය ව්‍යවහාරයේදි වෙනස් වෙන්න ගත්තා. නමුත් 18 වන සියවස වෙනකන් ම මේ වචන දෙකම භාවිතා උනු බවත් සඳහන් වෙනවා. මුල සිටම මේ ඉළපත් ගැහැණු පිරිසට සම්බන්ධ වුනු බව සැලකුනේ ගෘහස්ථ ක්‍රියාවලදී ගැහැනු පිරිස වැඩියෙන් යෙදෙන නිසාවෙන්. කාලයත් සමග මේ භාණ්ඩය “කාන්තාවන් සහ ගේදොර පරිසරය” නිරූපණය කිරීමේ මූලික සංකේතයක් විදිහට සැලකෙන්න පටන් ගත්තා.

කොහොම උනත් කොසු මත ගමන් කිරීම පිලිගත් පළමු මායාකරුවා උනේ Guillaume Edelin යන පිරිමි පුද්ගලයෙක්. පැරීසියේ Saint-Germain-en-Laye නම් පල්ලියේ පූජකතුමෙක් වූ ඔහු, මායාවෙහි යෙදුනු සැකය මත 1453 වසරේදී අත්අඩංගුවට පත් වෙන්නේ, පල්ලිය විසින් මායාකරුවන් පිළිබඳ ව අනතුරු ඇඟවීම ගැන චෝදනා එල්ල කල නිසාවෙන්. ඔහු තම වරද පිළිගන්නේ දැඩි හිංසාවන් වලට පමුණුවීමෙන් පසුවයි. අනතුරුව ඔහු සමාව අයද සිටියත්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම උනා.

කොසුමත ගමන් කිරීම

එඩිලින් වරද පිලිගන්න කාලය වෙද්දි, “කොසු මත ගමන් කරන මායාකාරියන්” ගේ අදහස මිනිසුන් අතර ඒ වෙනකොටත් පැතිරිලා ඉවරයි. කොසු මත සැරිසරන මායාකාරියන් ගේ පැරණිම රූපසටහන ලෙස සැලකෙන්නේ Martin Le Franc යන ප්‍රංශ ජාතික කවියා අතින් ලියැවුනු Le Champion des Dames (The Defender of Ladies) යන කවියේ 1451 එළිවුනු පිටපතේ සඳහන් රූප ද්විත්වයයි.*

එහි එක රූපයක කාන්තාවක් ඉළපතක් මත වේගයෙන් ගමන් කරමින් සිටින අතර අනෙක් රූපයේ කාන්තාවක් සුදු පාට දණ්ඩක් මත ගමන් කරමින් සිටියි. ඔවුන් දෙදෙනා හිස මත සළුවක් පොරවගෙන සිටින අතර එයින් ඔවුන් දෙදෙනා Waldensianවරුන්* බව හඳුනාගන්න හැකි වෙනවා.

ඉළපත සහ pagan චාරිත්‍ර

මානවවේදිනියෙකු වන Robin Skelton පවසන්නේ මෙම කොසු මත පියාඹන අදහස පැවත එන්නේ පේගන්වරුන් අතර ගොයම් වල සශ්‍රීකත්වය සඳහා පැවතුනු යම් චාරිත්‍රයක් තුලින් බවයි. මෙහිදී පේගන් ගොවියන් රිට, මුල්ලු හෝ කොසු සමග පුරහඳ එළිය යට යම් විදිහක නර්තනයක යෙදීම සිරිතක් වුනා. එයින් ඔවුන් බලාපොරොත්තු උනේ ඔවුන්ගේ ගොයම් වල සරුසාරවත් බව වැඩි වීමයි.
Skelton පවසන පරිදි මේ “ඉළපත් නර්තනය” මායාකාරියන් ඔවුන්ගේ ගමන් බිමන් සහ නීති විරෝධී රැස්වීම් වලට ගමන් කිරීමේ ක්‍රියාව සමග පැටලෙන්නට ඇති බවයි.

මායාකාරියන් ආශ්‍රිත ව පවතින තවත් අදහසක් තමයි ඔවුන් විවිධ ද්‍රාවන(potions) පිළියෙල කරන බව. බොහෝ වෙලාවට මේ ද්‍රාවන මායාමය අමු ද්‍රව්‍ය භාවිතා කරලා තමයි හදනවා කියන්නේ.
ඖෂධවේදියෙකු වන David Kroll විසින් Forbes සඟරාවට සඳහන් කරන්නේ මධ්‍යතන යුගයේ මායාකාරියන් විසින් ඔවුන්ගේ ද්‍රාවන සඳහා Atropa belladonna (deadly nightshade), Hyoscyamus niger (henbane), Mandragora officinarum (mandrake) සහ Datura stramonium (jimsonweed) වැනි ශාක භාවිතා කල බවයි.

ඔවුන් සාදන ද්‍රාවන ප්‍රවාහනය කිරීමට ඉතාම සුදුසු මාධ්‍යය විදිහට ඉළපත් සලකනු ලැබුවා. 1324 වසරේ ධනවත් අයර්ලන්ත පවුලක කාන්තාවක් වුනු Lady Alice Kyteler මායාව භාවිතා කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. ඇගේ නිවස පරීක්ශා කිරීමේදී දිගු රිටක් සහ එහි අගට යම් ආලේපනයක් එක් කර තිබී සොයාගන්නවා.

විශ්වාසය සහ ජනප්‍රවාද

17 වන සියවසේ මුල් අවදිය වෙද්දි මායාකාරියන් ප්‍රවාහනය සඳහා ඉළපත් භාවිතා කරන අදහස ගොඩක් පොදුවෙ පිළිගත්තු අදහසක් වෙලා තිබුනා. තව ඔවුන් නිවසින් පිටවීමට දුම් කවුළුව (චිමිනිය) භාවිතා කල බවටද විශ්වාස කෙරුනා. ඒ වන විට ඉළපත කියන්නේ බහුල ව භාවිතා උනු ගෘහස්ථ භාණ්ඩයක් වෙලා තිබුනේ.
එක් සංස්කෘතියකට අනුව, කාන්තාවන් ගෙයින් පිට හෝ චිමිනිය මත ඉළපතක් තැබීමේ සිරිතක් තිබුනේ ඔවුන් නිවසෙන් පිටවී ඇති බව හැඟවීමටයි. ඉතින් මායාකාරියන් ඉළපත භාවිතයෙන් චිමිනිය තුලින් පිටවෙන අදහස මෙතනින් පටන් ගත්තා කියන්න පුළුවන්.

මායාකරුවන් ගැන විවිධ මත කාලයත් සමග ගොඩනැගී තිබුනත් මේවයින් කොච්චරක් සත්‍ය තොරතුරුද කියන්න අදටත් හැකියාවක් නැහැ. අපිට වර්තමානයේ තියෙන තොරතුරු පවා හම්බෙන්නේ මායාකරුවන් ට දඬුවම් පනවන්න නියම කෙරුනු නිලධාරින් විසින් ලියූ වාර්තා වලින් (The inquisition, Salem’s Witch Trials වැනි සිදුවීම් ආශ්‍රිත) සහ චෝදනා ලැබූ ඒ කියන මායාකරුවන් මායාකාරියන් ගේ සාක්ෂි සහ වදන් වලින් පමණයි. ඔවුන් මේ චෝදනාව පිලිගත්තේ දැඩි හිංසාවලට සහ දඬුවම් වලට පමුණුවීමෙන් පසුව නිසා ඔවුන් ඇත්තටම මායා ක්‍රියාවල යෙදුනද නැත්නම් දඬුවමෙන් තමන් මුදවගන්න වරද පිළිගත්තාද යන්න තාමත් සැකයක්.

මායාකාරියන් පිළිබඳ සැක සංකා නම් 18වන සියවස වෙද්දි තරමක් දුරට අඩු වෙලා තිබුනා. එක්සත් ජනපදයේ අදටත් තමන් මායාකරුවන් ලෙස කියාගන්න පිරිසක් දකින්න පුළුවන් උනත් “විකා” වැනි නව පේගන් ඇදහිලි සහ සංස්කෘති හා එයට ලැබී ඇති අයිතීන් සහ නිදහස නිසාත් වර්තමානයේ එය ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

කොහොම උනත් කොසු මත පියාඹන මායාකාරියන්ගෙ රූප සටහන් අදටත් තැනින් තැන භාවිතා වෙනවා වගේම විශේෂයෙන් හැලොවීන් සම්ප්‍රදායේදි බහුලව දකින්න ලැබෙන සංකේතයක්.