
Paramount set to complete $111 Billion Warner Bros. acquisition next week
Paramount විසින් Warner Bros. Discovery නිළ වශයෙන් අත්පත් කරගනියි, නව ඒකාබද්ධ සමාගමේ නිල නාමය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරයි.
ලෝකයේ දැවැන්තම විනෝදාස්වාද සමාගම් දෙකක් වන Paramount සහ Warner Bros. Discovery (WBD) ඒකාබද්ධ කරමින්, ඩොලර් බිලියන 111 කට WBD ආයතනය අත්පත් කරගැනීමේ ඓතිහාසික ගිවිසුම එළඹෙන ඔක්තෝබර් 06 වනදා නිල වශයෙන් සම්පූර්ණ කිරීමට නියමිත බව Paramount Skydance නිවේදනය කර තිබෙනවා. ඇමරිකානු ෆෙඩරල් විනිසුරු Araceli Martínez-Olguín විසින් ප්‍රාන්ත 12 ක නීතිපතිවරුන් සමඟ ඇති කරගත් සමථ ගිවිසුම අනුමත කිරීමත් සමඟ මෙම දැවැන්ත ගනුදෙනුවට තිබූ අවසන් නීතිමය බාධාව ද ඉවත් වුණා. මෙම නව ඒකාබද්ධ සමාගමේ නිල නාමය හෙට (ඔක්තෝබර් 02) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
වසර 5 ක් පුරා ක්‍රියාත්මක වන එම සමථ ගිවිසුමට අනුව ප්‍රධාන කොන්දේසි කිහිපයකට නව සමාගම බැඳී සිටිනවා:
◉ පළමු වසර දෙක තුළ වාර්ෂිකව සිනමාශාලා චිත්‍රපට අවම වශයෙන් 30 ක් සහ ඉන්පසු වසරවලදී 32 ක් නිකුත් කිරීම (ඉන් අඩක්ම ස්වයං නිෂ්පාදන විය යුතු අතර ස්වතන්ත්‍ර චිත්‍රපට ද ඇතුළත් විය යුතුය).
◉ ඇමරිකානු සිනමා නිෂ්පාදනය සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක ආයෝජනයක් සිදුකිරීම.
◉ කැලිෆෝනියාවේ පිහිටි Paramount සහ Warner Bros. චිත්‍රාගාර භූමි අලෙවි නොකර පවත්වාගෙන යාම.
◉ CNN සහ CBS News ප්‍රවෘත්ති ජාලයන්හි ස්වාධීනත්වය සුරැකීමට ස්වාධීන කර්තෘ මණ්ඩලයක් පත්කිරීම.
◉ Writers Guild of America (WGA) සෞඛ්‍ය අරමුදලට ඩොලර් මිලියන 17.5 ක් ගෙවීම ඇතුළු සේවක සුබසාධන කොන්දේසි.
මෙම ගිවිසුම හරහා Paramount Pictures සහ Warner Bros. සිනමා සමාගම් දෙකම මෙන්ම Paramount+, HBO Max, Discovery+, Pluto TV යන ස්ට්‍රීමිං සේවාවන් ද, Harry Potter, DC Comics, Game of Thrones, Star Trek, Mission: Impossible සහ The Matrix වැනි දැවැන්ත සන්නාමයන් ද එකම වහලක් යටට පැමිණෙනු ඇති.
නව සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක (CEO) ලෙස David Ellison කටයුතු කරන අතර, 'Barbie' චිත්‍රපටය සාර්ථක කරගැනීමට මුල් වූ Mattel හිටපු ප්‍රධානී Ynon Kreiz සම-ප්‍රධාන විධායකයා (co-CEO) ලෙස එක්වීමට නියමිතයි. වත්මන් WBD ප්‍රධානී David Zaslav ඉවත්වීමට නියමිත අතර, HBO ප්‍රධානී Casey Bloys යටතට ඒකාබද්ධ ස්ට්‍රීමිං මෙහෙයුම් පැවරෙනු ඇති බව සඳහන්.
Oracle සම-නිර්මාතෘ Larry Ellison සහ සෞදි, කටාර්, අබුඩාබි රාජ්‍ය අරමුදල්වල මූල්‍ය පිටුබලයෙන් සිදුවන මෙම ඒකාබද්ධ වීම හරහා වාර්ෂිකව ඩොලර් බිලියන 6 ක ඉතිරියක් අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත්, මෙවැනි සමාගම් ඒකාබද්ධ වීම් නිසා තරගකාරීත්වය සහ රැකියා සුරක්ෂිතතාව අඩුවන බව පවසමින් Mark Ruffalo ඇතුළු හොලිවුඩ් ශිල්පීන් පිරිසක් මීට දැඩි විරෝධය පළකර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.