
Rockstar is turning Miami into real-life ‘Vice City’ for GTA 6
Rockstar සමාගම GTA 6 ප්‍රචාරණ කටයුතු සඳහා ඇ.ඩො 4ක පිරිවැයකින් ඇමරිකාවේ Miami Beach වෙරළ තීරය සැබෑ Vice City නගරය ලෙස වෙනස් කරයි.
ලොව පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින Grand Theft Auto VI හෙවත් GTA 6 නිකුත් වීමට පෙර, ඇමරිකාවේ Miami Beach වෙරළ තීරය සැබෑ Vice City අත්දැකීමක් බවට පත් කිරීමේ ඇ.ඩො මිලියන 3 ක දැවැන්ත ප්‍රචාරණ ගිවිසුමකට Miami Beach නගර කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 10 වනදා පැවති ඡන්ද විමසීමේදී 4 ට 3 ක් ලෙස මෙම යෝජනාව සම්මත වී ඇති අතර, Rockstar Games සමාගම Amplify Marketing ආයතනය හරහා මෙම ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
මෙම ගනුදෙනුව හරහා නගරයට ඩොලර් මිලියන 3 ත් 4 ත් අතර ආදායමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම මුදල් Flamingo පාපන්දු ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ප්‍රජා ව්‍යාපෘති සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා. නගරයේ පොදු දේපළ හෝ ජීවිතාරක්ෂක කුටි මත GTA ලාංඡන ප්‍රදර්ශනය කිරීම වෙනුවට, Boucher Brothers සමාගම පවත්වාගෙන යන වෙරළ පුටු සහ කුඩ මත Vice City සහ VI යන සළකුණු ඉතා සංයමයකින් යුතුව (discreet branding) යොදාගැනීමටයි තීරණය කර ඇත්තේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය ඔක්තෝබර් 15 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර Art Basel උත්සව කාලසීමාව ඊට ඇතුළත් වන්නේ නැහැ.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් නගර පාලන අධිකාරිය තුළ දැඩි විවාදයක් හටගෙන තිබුණා. ප්‍රචණ්ඩත්වය සහ අපරාධ මුල් කරගත් ක්‍රීඩාවක් සමඟ නගරය ඈඳීමෙන් Miami Beach සන්නාමයට හානි වන බවට ඇතැම් කොමසාරිස්වරුන් විරෝධය පළ කළ ද, මෙය සැබෑ ජීවිතයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බවත්, ලොව විශාලතම විනෝදාස්වාද ක්ෂේත්‍රයක් හරහා නගරයේ සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට දැවැන්ත වාසියක් අත්වන බවත් ඊට පක්ෂව අදහස් දැක්වූ පාර්ශ්ව පෙන්වා දෙනවා.
මීට අමතරව Miami International Airport ගුවන් තොටුපළ සහ Metromover ප්‍රවාහන පද්ධතිය තුළ ද මෙවැනි Vice City සැරසිලි එක් කිරීමට යෝජනා වී තිබුණ ද, පොලිස් ප්‍රධානීන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් එල්ල වූ විරෝධතා හේතුවෙන් ඒවා මෙතෙක් නිල වශයෙන් අනුමත වී නැහැ. Florida ප්‍රාන්තයේ Miami නගරය පාදක කරගනිමින් නිර්මාණය වූ Vice City නගරය පසුබිම් කරගත් GTA 6 ලොව මෙතෙක් වඩාත්ම අපේක්ෂිත ක්‍රීඩාවක් වන අතර, ඔක්තෝබර් මැද භාගයේ සිට Miami Beach වෙත පැමිණෙන ජනතාවට වෙරළ තීරයේදී සැබෑ Vice City අත්දැකීමක් දැකබලා ගැනීමට හැකිවනු ඇති.

Discussion
No comments yet — start the conversation.