
Sri Lanka prepares to submit an official entry for the 99th Academy Awards.
2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.
2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වන Academy Awards හෙවත් ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ (National Film Corporation) සභාපති සුදත් මහදිවුල්වැව මහතා පවසනවා. ඒ අනුව ඔස්කාර් සම්මාන උළෙලේ International Feature Film කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටය ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් ඔස්කාර් උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර, මෙවර විශේෂත්වය වන්නේ වසර 17 කට පසුව ශ්‍රී ලංකාවේ නිල ඔස්කාර් නියෝජනය (official submission) තෝරාගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවන ලද සහ ඇමරිකා එක්සත් ජනපදයේ Academy of Motion Picture Arts and Sciences මගින් අනුමත කරන ලද විශේෂ තේරීම් කමිටුවක් හරහා ශ්‍රී ලංකාවේ නිල නියෝජිත චිත්‍රපටය තෝරාගැනීමට නියමිතයි. මේ සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය අගෝස්තු 24 වනදා ආරම්භ කර ඇති අතර, මෙම මස 21 වනදා දක්වා එම අයදුම්පත් භාර ගැනීමට ඔවුන් කටයුතු කරනවා.
මෙම අවස්ථාව සඳහා ඉදිරිපත් කරන චිත්‍රපටය මිනිත්තු 40 කට වැඩි ධාවන කාලයකින් යුත් දීර්ඝ ප්‍රබන්ධ, වාර්තා හෝ සජීවීකරණ චිත්‍රපටයක් විය යුතු වනවා. එමෙන්ම 2025 ඔක්තෝබර් 1 වනදා සිට 2026 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවක අඛණ්ඩව දින 7 ක් හෝ ඊට වැඩි කාලයක් වාණිජ පදනමින් ප්‍රදර්ශනය කර තිබීම ද අනිවාර්ය කරුණක්. මීට අදාළ නිල අයදුම් පත්‍රය සහ අනෙකුත් සවිස්තරාත්මක තොරතුරු ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි.
Discussion
No comments yet — start the conversation.