Sri Lanka submitting a film to the Oscars for the first time in history is completely false.

Sri Lanka submitting a film to the Oscars for the first time in history is completely false.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට Oscars සම්මාන උළෙල සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට යන කරුණ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි.

2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වන Academy Awards හෙවත් ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව හෙවත් National Film Corporation (NFC) මගින් තේරීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන බවට අද දින සමාජ මාධ්‍ය පිටු මෙන්ම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වැරදි සහගත ලෙස පුවත් පළ කර තිබෙනවා. එහෙත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු එකක් වන අතර, සත්‍ය වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවෙන් ඔස්කාර් සම්මාන උළෙලක් සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව නොවේ.

ඒ අනුව මීට පෙර, වර්තමානයේ International Feature Film ලෙසත් අතීතයේදී Best Foreign Language Film ලෙසත් හැඳින්වූ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් චිත්‍රපට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ප්‍රවීණ සිනමාවේදී ලේස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ “වෑකන්ද වලව්ව” (Mansion by the Lake) චිත්‍රපටය 2002 වසරේදී 76 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නිල නියෝජනය ලෙස ඉදිරිපත් කෙරුණා. ඉන්පසුව Chandran Rutnam විසින් අධ්‍යක්ෂණය කළ “අලිමංකඩ” (The Road from Elephant Pass) චිත්‍රපටය 2009 වසරේදී 82 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඉදිරිපත් කෙරුණා. මීට අමතරව 2010 වසර සඳහා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ආකාස කුසුම්” (Flowers of the Sky) චිත්‍රපටය මුලින් තෝරාගෙන තිබුණ ද, පසුව ඒ වෙනුවට අලිමංකඩ චිත්‍රපටය ඉදිරිපත් කිරීමට කටයුතු කළ බැවින් ආකාස කුසුම් එම වසරේ අවසන් නිල නියෝජනය ලෙස නොසැලකේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල නියෝජනයන් නොවුණ ද, 2018 වසරේදී ගින්නෙන් උපන් සීතල (The Frozen Fire) සහ According to Matthew යන චිත්‍රපට 2 ක ද ඇමරිකා එක්සත් ජනපදයේ සිනමා ශාලාවල වාණිජ පදනමින් ප්‍රදර්ශනය කිරීම හරහා සම්මාන සලකා බැලීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබුණා. මෙම චිත්‍රපට දෙක 91 වන ඔස්කාර් සම්මාන උළෙලේ නාම යෝජනා සඳහා සලකා බැලීමට සුදුසුකම් ලත් (eligible) ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා.

මෙහිදී පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ශ්‍රී ලංකාවෙන් මීට පෙර නිල වශයෙන් ඉදිරිපත් කළ (officially submitted) සහ සලකා බැලීමට සුදුසුකම් ලැබූ (eligible) චිත්‍රපට තිබුණ ද, මෙතෙක් කිසිදු ලාංකික චිත්‍රපටයක් ඔස්කාර් නාම යෝජනාවක් (nomination) ලබා ගැනීමට හෝ සම්මානයක් ජයග්‍රහණය කිරීමට සමත්ව නොමැති බවයි. එම නිසා ශ්‍රී ලංකාව පළමු වතාවට ඔස්කාර් යනවා යනුවෙන් හැඳින්වීම සාවද්‍ය වනවා.

චිත්‍රපටයක් ඉදිරිපත් කිරීම සහ ඔස්කාර් සම්මාන නිර්දේශ ලැයිස්තුවට ඇතුළත් වීම අතර වෙනස පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම මෙම වැරදි මතයට හේතු වී තිබෙනවා

ඒ නිසා අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියල
International Feature Film කාණ්ඩයේ සැබෑ ක්‍රියාවලිය පියවර 4 කින් සමන්විත වනවා:

1️⃣ Submission (නිල වශයෙන් ඉදිරිපත් කිරීම): ලොව ඕනෑම රටකට International Feature Film කාණ්ඩය සඳහා තමන්ගේ රට නියෝජනය කරමින් එක් චිත්‍රපටයක් නිල වශයෙන් ඉදිරිපත් කළ හැකියි. මෙය හුදෙක් තරඟය සඳහා ඇතුළත් වන අයදුම්පතක් හෙවත් entry එකක් පමණයි.

2️⃣ Shortlist (මූලික තේරීම් ලැයිස්තුව): විවිධ රටවල් සහ කලාප මගින් ඉදිරිපත් කෙරෙන සුදුසුකම් ලත් සියලු නිර්මාණ (eligible submissions) අතරින් The Academy විසින් හොඳම චිත්‍රපට 15 ක shortlist එකක් තෝරාගනු ලබනවා.

3️⃣ Nomination (අවසන් නිර්දේශය): පෙර තෝරාගත් චිත්‍රපට 15 අතරින් නැවත ඡන්ද විමසීමක් පවත්වා අවසන් nomination list එකට ඇතුළත් කරගන්නේ චිත්‍රපට 5 ක් පමණයි.

4️⃣ Oscar Winner (ජයග්‍රහණය): අවසන් nomination list එකට ඇතුළත් වන එම චිත්‍රපට 5 අතරින් අවසාන ඡන්ද විමසීමෙන් එක් විශිෂ්ටතම චිත්‍රපටයක් winner බවට පත්වෙමින් ඔස්කාර් සම්මානය හිමි කරගන්නවා.

ඒ අනුව 2026 වසරේදී සිදුවන සැබෑම සුවිශේෂත්වය වන්නේ, අලිමංකඩ චිත්‍රපටයෙන් පසුව වසර 17 ක දිගු නිහැඬියාවක් නිමා කරමින් National Film Corporation හි සභාපති සුදත් මහදිවුල්වැවගේ මැදිහත්වීමෙන් සහ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences මගින් අනුමත කළ National Oscars Selection Committee of Sri Lanka හෙවත් NOSCSL හරහා ශ්‍රී ලංකාවේ නිල ඔස්කාර් නියෝජනය තෝරාගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි.

මේ සඳහා ඉදිරිපත් කෙරෙන නිර්මාණය මිනිත්තු 40 කට වැඩි ධාවන කාලයකින් යුත් දීර්ඝ ප්‍රබන්ධ, වාර්තා හෝ සජීවීකරණ චිත්‍රපටයක් විය යුතු වනවා. එමෙන්ම 2025 ඔක්තෝබර් 1 වනදා සිට 2026 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ නිෂ්පාදකයාට සහ ප්‍රදර්ශකයාට ලාභ ඉපයීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවක අඛණ්ඩව අවම වශයෙන් දින 7 ක් වාණිජ පදනමින් ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්යයි.

අගෝස්තු 24 වනදා සිට සැප්තැම්බර් 21 වනදා දක්වා මේ සඳහා අයදුම්පත් භාරගන්නා අතර, ඉදිරිපත් වන චිත්‍රපට විශේෂ කමිටුව විසින් නරඹා, ඇගයීමට ලක් කර, ශ්‍රේණිගත කිරීමෙන් (screen, evaluate, rank) අනතුරුව ශ්‍රී ලංකාවේ නිල නියෝජනය සැප්තැම්බර් 28 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ නිල අයදුම්පත්‍රය සහ වැඩිදුර තොරතුරු National Film Corporation නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි. ඉදිරියේදී මෙම තෝරාගන්නා චිත්‍රපටය ඔස්කාර් අවසන් නිර්දේශ 5 අතරට (nomination) තේරී පත් වුවහොත් පමණක් එය සැබෑ ඓතිහාසික ප්‍රථම අවස්ථාව වනු ඇති.

එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන මෙවැනි නොමඟ යවන සුළු පුවත් සමාජගත කිරීමට පෙර මීට වඩා වගකීමෙන් යුතුව කරුණු සොයා බලා නිවැරදි තොරතුරු පමණක් වාර්තා කිරීම අතිශය වැදගත් බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

ඒ අනුව අවසන් නිගමනය මෙලෙස සාරාංශ කළ හැකියි:

❌ ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීම යන්න සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයකි.

✅ සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වසර 17 කට පසුව ශ්‍රී ලංකාවේ නිල ඔස්කාර් නියෝජනය තෝරාගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමයි.