Sri Lanka ranks 11th lowest in global minimum wage index

Sri Lanka ranks 11th lowest in global minimum wage index

ලොව අඩුම වැටුප් ලබාදෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව 11 වැනි ස්ථානයට.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් නිකුත් කරන ලද දත්ත මත පදනම් වූ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවකට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් අඩුම වැටුප් හිමි රටවල් අතර 11 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power Parity - PPP) අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව ඇ.ඩො 200 ක් ලෙසයි දක්වා ඇත්තේ.

මෙම දර්ශකයට අනුව මිලදී ගැනීමේ හැකියාව මත ලොව අඩුම අවම වේතනයක් හිමි රටවල් 11 (පහළ සිට ඉහළට) පහත පරිදි වනවා:

(1) ගැම්බියාව - ඇ.ඩො 67 (ලොව අඩුම)

(2) ගිනි-බිසව්

(3) කිර්ගිස්ථානය

(4) ඝානාව

(5) සියරා ලියොන්

(6) මධ්‍යම අප්‍රිකානු ජනරජය

(7) ගිනියාව

(8) හයිටිය

(9) භූතානය

(10) නයිජර්

(11) ශ්‍රී ලංකාව - ඇ.ඩො 200

මීට සාපේක්ෂව ලොව ඉහළම අවම වේතනයක් හිමි රටවල් වන්නේ ස්විට්සර්ලන්තය (ඇ.ඩො 3,804), ජර්මනිය (ඇ.ඩො 2,928) සහ එක්සත් රාජධානියයි (ඇ.ඩො 2,902). ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව ඇ.ඩො 2,362 ක අගයක් සමඟින් සමස්ත ලැයිස්තුවේ 11 වැනි ස්ථානයටත්, ජපානය ඇ.ඩො 1,839 ක අගයක් සමඟින් 16 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා. එසේම පැයකට ඇ.ඩො 7.25 ක් වූ අවම වේතනයක් පවතින ඇමරිකාව මෙම දර්ශකයේ 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ඇ.ඩො 1,257 ක අගයක් සමඟිනි.

දකුණු ආසියාතික රටවල් අතුරින් ද ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවනවා. ඒ අනුව පාකිස්ථානය සමස්ත ලැයිස්තුවේ 68 වන ස්ථානයේත් (ඇ.ඩො 570), නේපාලය 78 වන ස්ථානයේත් (ඇ.ඩො 490), බංග්ලාදේශය 89 වන ස්ථානයේත් (ඇ.ඩො 379) සහ ඉන්දියාව 111 වන ස්ථානයේත් (ඇ.ඩො 233) පසුවනවා.

සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් පරිවර්තනය කර ඇති අතර, බදු, වෙනත් අමතර දීමනා හෝ රටක් තුළ පවතින ජීවන වියදමේ වෙනස්කම් මීට ඇතුළත් නොවන බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.