Teardrop Nation 76 වසරක දේශපාලන සාපය සහ අපේම ඛේදවාචකය කියවන නවතම කැඩපත

Teardrop Nation 76 වසරක දේශපාලන සාපය සහ අපේම ඛේදවාචකය කියවන නවතම කැඩපත

76 වසරක දේශපාලන සාපය විසින් සුන්දර දිවයිනක් ලේ විලක් බවටත්, ආර්ථික වශයෙන් බිඳවැටුණු රාජ්‍යයක් බවටත් පත් කළ අඳුරු ඉතිහාසය දෙස අපි තවමත් විවෘතව බැලීමට පසුබට වෙමු. යුද්ධයේ තුවක්කු හඬ නිහඬ වී වසර දාහතක් ගත වී ඇතත්, පටු දේශපාලන කෝණවලින් බැලීමට පුරුදු වී සිටින අපට, නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් සැබෑ දේශපාලන හැලහැප්පීම් සහ සියලුම ජන කොටස් අත්විඳි සමාජීය පීඩාවන් විමසා බලන Teardrop Nation වාර්තා කතාමාලාව රටේ අනාගතය ගැන සිතන සෑම ශ්‍රී ලාංකිකයෙකුම නැරඹිය යුතුම නිර්මාණයකි.

Project 72 යටතේ Sarah Kabir විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය, වසර හයකට අධික කාලයක් පුරා සිදු කළ පර්යේෂණ, විශේෂඥ අදහස් සහ සම්මුඛ සාකච්ඡා රැසක් ඇසුරින් නිර්මාණය කර ඇත. මෙය එක් පාර්ශවයක ‘සත්‍යයක්’ ඔප්පු කිරීමට දරන උත්සාහයක් නොවන අතර දශක හතකට වැඩි දේශපාලන අදූරදර්ශීභාවය විසින් නිදහස ලැබූ ජාතියක් සන්නද්ධ අරගල සහ ත්‍රස්තවාදය කරා තල්ලු කළ ආකාරයත්, ඉන් සමස්ත රටවැසියන්ටම සිදු වූ අසාධාරණයනුත් යළි ගොඩනගා පෙන්වීමකි.

කොටස් හතරකින් යුත් මෙම නිර්මාණය අප නැරඹිය යුත්තේ ඇයි?

1. 76 වසරක සාපයේ මූලයන් සහ දකුණේ සිංහල තරුණයන්ගේ නැගිටීම (The Seeds We Sow)

පළමු කොටසින් යටත් විජිත යුගයේ සිට 1970 දශකයේ මැද භාගය දක්වා කාලය තුළ අපේ දේශපාලන ගමන්මග විමර්ශනය කෙරේ. පාලක පන්තිය විසින් ගනු ලැබූ අදූරදර්ශී දේශපාලන හා ආර්ථික තීන්දු නිසා සමස්ත සමාජය තුළම ගැඹුරු බෙදීම් ඇති වූ ආකාරය මෙහිදී පෙන්වා දෙයි. විශේෂයෙන්ම, පැවති ආර්ථික ප්‍රතිපත්ති, පන්ති සහ කුල විෂමතාවයන් නිසා දකුණේ සාමාන්‍ය සිංහල තරුණ පරපුරට සිදු වූ අසාධාරණයන් සහ ඉන් ඇති වූ දැඩි අසහනය ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන නැගිටීමට පාර කැපූ ආකාරය මෙහිදී මනාව විග්‍රහ කෙරේ. උතුරේ දෙමළ දේශපාලන රැඩිකල්කරණයට සමගාමීව දකුණේ සිංහල තරුණයන් මුහුණ දුන් පීඩනය සහ ජවිපෙ ගොඩනැගුණු ආකාරය මෙයින් පැහැදිලි කරයි.

2. ඒකාධිපතිවාදය සහ සන්නද්ධ අරගල කරා යොමු වීම (The Trigger)

1970 දශකයේ මැද සිට 80 දශකයේ අග දක්වා කාලය තුළ රට පුරා ගැටුම් උත්සන්න වූ ආකාරය දෙවන කොටසින් විමසයි. දෙමළ සමාජය තුළ පැවති විවිධ දේශපාලන ප්‍රවාහයන් යටපත් කරමින් එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය සන්නද්ධ ඒකාධිකාරයක් ගොඩනගා ගත් ආකාරය මෙහිදී පැහැදිලි කරයි. ඒ අතරම, දකුණේ පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන මර්දනය සහ වර්ධනය වූ ඒකාධිපතිවාදී ප්‍රවණතා හමුවේ දකුණේ සිංහල ජනතාවට සිදු වූ දේශපාලන අසාධාරණයන් සහ ජවිපෙ ඇතුළු විප්ලවීය ව්‍යාපාර තුළ පැවති නොසන්සුන්තාවය තවදුරටත් තීව්‍ර වූ ආකාරය මෙම කොටසින් අනාවරණය කරයි.

3. සමාන්තර ත්‍රස්තවාදී ගැටුම්, දැවැන්ත ආර්ථික විනාශය සහ ජනතාවගේ පීඩාව (A Battle for Peace)

1980 සහ 90 දශක යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තීරණාත්මකම පරිච්ඡේදයයි. උතුරේ එල්.ටී.ටී.ඊ (LTTE) සංවිධානය සහ දකුණේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් දියත් කළ අරගල හුදෙක් දේශපාලන ව්‍යාපාරවලට එහා ගිය බිහිසුණු ත්‍රස්තවාදී ස්වරූපයක් ගත් ආකාරය තුන්වන කොටසින් ඉතා ගැඹුරින් විග්‍රහ කෙරේ. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ හෝ බෙදා වෙන් කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම් දෙකම රටේ යටිතල පහසුකම්, රාජ්‍ය දේපළ සහ ආර්ථික මර්මස්ථාන විනාශ කළ අතර, ඉන් සමස්ත රටටම සිදු වූ ආපසු හැරවිය නොහැකි දැවැන්ත ආර්ථික පාඩුව මෙම කොටසින් මනාව ඉස්මතු කරයි.

මෙම සන්නද්ධ කණ්ඩායම්වල ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙන්ම ඊට එරෙහිව දියත් වූ දැඩි රාජ්‍ය මර්දනය හේතුවෙන් දකුණේ සිංහල තරුණ තරුණියන් සහ සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් ඝාතනයන්ට, අතුරුදහන් කිරීම්වලට සහ දැඩි අසාධාරණයන්ට ලක් විය. එමෙන්ම, උතුරු-නැගෙනහිර මායිම් ගම්මානවල ජීවත් වූ අහිංසක සිංහල ජනතාව මෙන්ම, උතුරෙන් බලහත්කාරයෙන් පලවා හැර ප්‍රහාරයන්ට ලක් කළ මුස්ලිම් ප්‍රජාව මුහුණ දුන් දැවැන්ත අසාධාරණයන් සහ සමාජීය පීඩාවන් ද මෙහි විශේෂ අවධානයකට ලක් කර ඇත.

4. “සැබෑ ජයග්‍රාහකයෙක් සිටීද?” (War in Paradise) 1990

දශකයේ සිට 2009 දක්වා තුන්වන සහ හතරවන ඊළාම් යුද්ධ මෙන්ම සාම සාකච්ඡා බිඳවැටීම් පිළිබඳව අවසාන කොටසින් ගෙන හැර දක්වයි. මෙහි ඇති වැදගත්ම දේශපාලන කියවීම නම්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් දරාගත් දැවැන්ත ජීවිත හානි, ආර්ථික කඩාවැටීම්, ප්‍රේක්ෂකයා හමුවේ තැබීමයි.

අවසාන වශයෙන්... Teardrop Nation යනු හුදෙක් අතීතය වාර්තා කිරීමක් නොවේ, එය 76 වසරක දේශපාලන සාපයෙන් රට මුදා ගැනීමට නම් අප අතීතයට මුහුණ දිය යුතු බවට කරන බල කිරීමකි. ත්‍රස්තවාදී අරගල නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම පුරවැසියන් එකසේ පීඩාවට පත් වී රට ආර්ථික වශයෙන් දශක ගණනාවකට ආපස්සට ගිය බවත් පෙන්වා දෙන මෙය, මෑතකාලීනව ලංකාවේ බිහිවූ වැදගත්ම වාර්තාමය ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය.

මෙය අපෙන් අසන මූලික ප්‍රශ්නයක් ඇත “ශ්‍රී ලාංකිකයෙකු වීම යනු කුමක්ද?” යන්නයි. රටේ අනාගතය ගොඩනගන්නට වෙහෙසෙන සෑම පුරවැසියෙකුටම මෙය මගහැරිය නොහැකි අත්දැකීමකි.

රටේ අනාගතය ගොඩනැගීමට වෙහෙසෙන සෑම පුරවැසියෙකුම නැරඹිය යුතු මෙම විශේෂ වාර්තාමය අත්දැකීම, දැන් Scope Cinemas (CCC, Havelock City Mall), Ram Cinemas (වත්තල) සහ JP Cineplex (මහනුවර) යන සිනමාශාලාවලදී ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.