The Legend of Korra actress Eva Marie Saint dies at 102

The Legend of Korra actress Eva Marie Saint dies at 102

The Legend of Korra හි මහලු Katara චරිතයට හඬ කැවූ ලොව ජීවතුන් අතර සිටි වයස්ගතම (102) ඔස්කාර් සම්මානලාභි ප්‍රවීණ රංගන ශිල්පිනී Eva Marie Saint අභාවප්‍රාප්ත වෙයි.

ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී Eva Marie Saint පසුගිය අඟහරුවාදා Los Angeles හි පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇයගේ වයස අවුරුදු 102 ක්. Marlon Brando සමඟ On the Waterfront සහ Cary Grant සමඟ North by Northwest යන චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ ඇය, පසුකාලීනව The Legend of Korra හි වයසක Katara චරිතයට හඬකැවීමෙන් ද විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා.

ඇය ස්වාභාවික හේතූන් මත මියගිය බව පවුලේ නියෝජිත Jeff Sanderson විසින් තහවුරු කර ඇති අතර, මියයන අවස්ථාවේදී ඇයගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින් ඇය අසල රැඳී සිට තිබෙනවා.

1924 ජූලි 4 වනදා New Jersey හි Newark හි උපත ලැබූ ඇය, 1954 වසරේදී Elia Kazan ගේ On the Waterfront හරහා සිය පළමු චිත්‍රපට රංගනයට පිවිසියා. එහි Edie Doyle ලෙස කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි සම්මානය හිමිවුණා. ඉන් වසර පහකට පසු Alfred Hitchcock අධ්‍යක්ෂණය කළ North by Northwest හි රහස් පරීක්ෂක Eve Kendall ලෙස රඟපාමින් ඇය තවත් අමතක නොවන චරිතයක් ප්‍රේක්ෂකයින්ට තිළිණ කළා.
වේදිකාව, රූපවාහිනිය සහ චිත්‍රපට යන අංශ තුනේදීම දස්කම් දැක්වූ ඇය සිය ජීවිතයේ අවසන් කාලය දක්වාම කලා කටයුතුවල නිරත වුණා. Nickelodeon හි The Legend of Korra ඔස්සේ Avatar කතාමාලාවට සම්බන්ධ වෙමින් ඇය ලබාදුන් හඬකැවීම නව පරපුරේ ප්‍රේක්ෂකයින් අතරට ද ඇයව සමීප කළා.

මියයන තෙක්ම ජීවතුන් අතර සිටි වයස්ගතම ඔස්කාර්
සම්මානලාභියා මෙන්ම පැරණි Hollywood ස්වර්ණමය යුගයේ අවසන් තරු කිහිපයෙන් කෙනෙකු ලෙසද ඇය සැලකුණා. ඇයගේ ස්වාමිපුරුෂයා වූ අධ්‍යක්ෂක Jeffrey Hayden 2016 වසරේදී මියගිය අතර, මියයන විට ඇය Darrell සහ Laurette යන දරුවන් දෙදෙනාගේත්, මුණුබුරු මිණිබිරියන් හතර දෙනෙකු සහ මී මුණුබුරු මිණිබිරියන් දෙදෙනෙකුගේත් ආදරණීය මවක් සහ මිත්තණියක් වුණා.