තරු අභිමානය පරයා මතුවූ මනුස්සකම: Ram Charan ට හමුවූ ඔහුගේම අනුරුව

තරු අභිමානය පරයා මතුවූ මනුස්සකම: Ram Charan ට හමුවූ ඔහුගේම අනුරුව

ජූනි 1 වැනිදා ආන්ද්‍රා ප්‍රදේශ්හි විජයවාඩා නගරයේ ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතුව පිරිලා හිටියේ "Peddi" තෙළිඟු චිත්‍රපටයේ Pre-Release උත්සවය වෙනුවෙන්. මේ දැවැන්ත උත්සවයේ ඉදිරිපෙළ අසුන්වල චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ වන Ram Charan සහ Jhanvi Kapoor අසුන්ගෙන හිටියා.

මේ අතරේ ආරක්ෂක වැටෙන් එහා හිටපු එක්තරා තරුණයෙක්ට ඕනේ වුණේ කොහොම හරි තමන්ගේ වීරයා, එහෙමත් නැත්නම් Ram Charan එක්ක වචනයක් හරි කතා කරන්න. මේ තරුණයා සාමාන්‍ය රසිකයෙක් නෙමෙයි; ඔහු පෙනුමින් ගොඩක් දුරට Ram Charan වගේමයි (Lookalike Fan). කාලෙන් කාලෙට Ram කොණ්ඩේ, රැවුල කපන විදිහටම හැඩවෙලා, ඔහුගේ ඇඳුම් විලාසිතාම අනුගමනය කරන මේ තරුණයා ඒ වෙද්දිත් තමන්ගේ ගමේ නමක් දිනාගත්තු චරිතයක්. ඔහුට ඕනේ වුණේ තමන්ගේ හදවතේ තියෙන මේ ආදරේ තම ගෞරවනීය තරුවට කියන්නයි. නමුත් උත්සවය මැද ඒකට අවස්ථාවක් දෙන්න ආරක්ෂකයින් සූදානම් වුණේ නෑ.

තමන්ගේ හීනය බොඳ වෙලා යනවා දැකපු මේ තරුණයාට ඉවසුම් නැති වුණා. එකපාරටම ආරක්ෂකයින්ව තල්ලු කරගෙන ඔහු කෙලින්ම දිව්වේ Ram Charan ඉන්න දිහාවට. මේ හදිසි සිදුවීමෙන් Jhanvi Kapoor පවා එක මොහොතකට කලබලයට පත්වුණා. ඒත් එක්කම වහාම ක්‍රියාත්මක වුණු Ram ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා (Kevin Kunta - ඔහු දක්ෂ MMA සටන්කරුවෙක්) Jhanvi අසලදීම මේ තරුණයාව නවත්තගත්තා. Kevin ඔහුව ඔසවාගෙන ගිහින් නැවතත් ආරක්ෂක වැටෙන් එහාට දැම්මා.
නමුත් මේ ඔක්කොම දිහා බලාගෙන හිටපු Ram Charan ගේ හිතට දැනුණේ අනුකම්පාවක්. තරු අභිමානයට වඩා මනුස්සකමට මුල්තැන දුන්නු ඔහු, වහාම අර තරුණයාව තමන් ළඟට කැඳවන්න කියලා ආරක්ෂකයින්ට කිව්වා.

අවුරුදු ගාණක් තිස්සේ තමන් අදහපු තරුව ළඟට යන්න අවස්ථාව ලැබුණම ඒ තරුණයාට කොහොම දැනෙන්න ඇත්ද? ඔහු Ram Charan ළඟ දණ ගහගෙන, සතුටු කඳුළු වගුරවමින් තමන්ගේ හදවතේ තියෙන ආදරය වචනවලට පෙරළුවා. උත්සවයේ වැඩකටයුතු පවා පසෙක තියලා Ram ඉතාම ආදරයෙන් ඔහු කියන දේවල් අහගෙන හිටියා. කතාව අවසානයේ තරුණයා Ram ගේ කකුල් අල්ලලා වඳින්න හදද්දී, Ram ඉතා නිහතමානීව ඔහුව වැළැක්වුවා.

මේ අපූරු සිදුවීම Ram Charan ගේ ජීවිතේට තවත් එක් සුන්දර මතකයක් එකතු කරාවි. නමුත් ඒ සංවේදී රසිකයාට නම්, මේක මුළු ජීවිත කාලය පුරාවටම ආඩම්බරයෙන් සිහිකරන්න පුළුවන්, මිල කරන්න බැරි තරම් වටිනා මතකයක් වේවි!