Veteran Sri Lankan model Chulpadmendra Kumarapathirana passes away at 46.

Veteran Sri Lankan model Chulpadmendra Kumarapathirana passes away at 46.

ප්‍රවීණ නිරූපණ ශිල්පිණි චුල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ දිවි ගමනට සමු දෙයි.

ප්‍රවීණ ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන චුල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 46 හැවිරිදි වියේ පසුවුණා.නිවසේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය ‘වහින්න මුතු වැස්සක්’ ටෙලිනාට්‍යයේ නිරූපණය කළ චරිතය මෙන්ම, ගායිකා අශාන්ති ද අල්විස් ගේ අතිශය ජනප්‍රිය “ආලවන්තියක් වෙන්නට සිතුවා” ගීතයේ රූප රචනාවට දැක්වූ දායකත්වය හරහා ද ප්‍රේක්ෂකයින් අතර දැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය වෙත යොමුවෙමින් ඒ තුළ ද කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ ඇය, මෑතකදී ද නිරූපණ සහ රූපවාහිනී වැඩසටහන් රැසකටම සක්‍රියව සිය දායකත්වය ලබාදෙනු දක්නට ලැබුණා.

ඇයගේ මෙම හදිසි අභාවය පිළිබඳ පුවත වාර්තා වීමට පෙර දින (ඉරිදා) පැවති නිරූපණ තරගාවලියක් සඳහා ද ඇය සහභාගී වී සිටි අතර, මෙම හදිසි වියෝව පිළිබඳ පුවත සැලවීමත් සමඟ නිරූපණ සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් සිය දැඩි කම්පනය පළ කර තිබෙනවා.