2026 Summer Box Office is now the highest-grossing of all time in the U.S. history, surpassing 2013

2026 Summer Box Office is now the highest-grossing of all time in the U.S. history, surpassing 2013

ඇමරිකානු සිනමා ඉතිහාසයේ ග්‍රීෂ්ම සෘතුවකදී (Summer season) වාර්තා වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම ලෙස 2026 වසරේ ග්‍රීෂ්ම සෘතුව නිල වශයෙන් වාර්තා අතරට එක්ව තිබෙනවා.

පසුගිය මැයි 1 වනදා සිට සැප්තැම්බර් 7 වනදා දක්වා කාලය තුළ අලෙවි වූ ප්‍රවේශ පත්‍ර ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.76 ක් ලෙස සටහන් වී ඇති අතර, ඒ අනුව මීට පෙර 2013 වසරේදී ඩොලර් බිලියන 4.75 ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාව මෙලෙස බිඳවැටී තිබෙනවා. Iron Man 3, Despicable Me 2 සහ Man of Steel වැනි චිත්‍රපට හරහා 2013 වසරේදී තැබූ එම වාර්තාව වසර 13 කට පසුවයි මෙලෙස අලුත් වී ඇත්තේ.

මෙහි ඇති සුවිශේෂීම කාරණාව වන්නේ ඉතිහාසයේ පළමු වතාවට මෙම ග්‍රීෂ්ම සෘතුවේ සෑම මාසයක්ම ඩොලර් බිලියනයක ආදායම් සීමාව පසුකර තිබීමයි. ඒ අනුව මැයි මාසයේදී ඩොලර් බිලියන 1.07 ක්, ජූනි මාසයේදී බිලියන 1.08 ක්, ජූලි මාසයේදී බිලියන 1.18 ක් සහ අගෝස්තු මාසයේදී වාර්තාගත ඩොලර් බිලියන 1.27 ක් ලෙස මෙම ආදායම වාර්තා වී තිබුණා. 2013 වසරේ දින 123 කට සීමා වූ ග්‍රීෂ්ම සෘතුව මෙවර දින 130 ක් දක්වා දීර්ඝ වී තිබීමත් විශේෂත්වයක්.

මෙම දැවැන්ත ආදායම් වාර්තාව සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ දේශීයව ඩොලර් මිලියන 923 ක සහ ලොව පුරා ඩොලර් බිලියන 2.4 කට අධික ආදායමක් ලැබූ Sony සහ Marvel Studios හි Spider-Man: Brand New Day චිත්‍රපටයයි. මීට අමතරව Christopher Nolan ගේ The Odyssey චිත්‍රපටය දේශීයව ඩොලර් මිලියන 589 ක් සහ Disney හා Pixar හි Toy Story 5 චිත්‍රපටය ඩොලර් මිලියන 480 ක ආදායමක් උපයාගෙන ඇති අතර, Obsession, Michael, The Devil Wears Prada 2 සහ Backrooms යන චිත්‍රපට ද මේ සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

Disney සහ Sony ආයතන අභිබවා යමින් මෙම අතිසාර්ථක ග්‍රීෂ්ම සෘතුව තුළ ඩොලර් බිලියන 1.23 ක ආදායමක් සමඟින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රාගාරය ලෙස Universal මුල් තැනට පත්වීම ද විශේෂත්වයක්. කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයින් යළිත් සිනමාහල් වෙත පැමිණීමේ විශාල වර්ධනයක් මෙම වාර්තා හරහා පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී මෙහි අවසන් විගණන වාර්තා නිකුත් වීමට නියමිතව තිබෙනවා.