4 women have accused Jared Leto of alleged sexual misconduct & assault that took place when they were teenagers.

4 women have accused Jared Leto of alleged sexual misconduct & assault that took place when they were teenagers.

ලොව ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකුද වන Jared Leto හට බරපතල ලිංගික අපයෝජන සහ අතවර චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ජාතික රූපවාහිනිය වන BBC නාලිකාව විසින් අද දිනයේ විකාශය කළ Jared Leto ගේ අතීත සිදුවීම් පිළිබඳව වන වාර්තාමය වැඩසටහන හරහා ඔහුට එරෙහිව එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. Jared Leto: Hollywood's Dark Secret ලෙස නම් කර ඇති මෙම විමර්ශනාත්මක වැඩසටහනට අනුව 2002 සිට 2016 දක්වා කාලය තුළ සිදුවූ බව කියන මෙවැනි අපයෝජන සිදුවීම් පිළිබඳව කාන්තාවන් දස දෙනෙකු විසින් අලුතෙන් සාක්ෂි ලබා දී ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ චෝදනා බරපතල සාපරාධී ගණයේ ඒවා බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවන් සිව්දෙනා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව, ඉන් එක් අයෙකු වයස අවුරුදු 17 දී හෝටල් කාමරයක් තුළදී ඔහුව මුණගැසීමට ගිය අවස්ථාවකදී ලිංගික අතවරයකට ලක්ව ඇති බවට පවසා තිබෙනවා. තවත් කාන්තාවක් පවසා ඇත්තේ ඇය 19 හැවිරිදි වියේ පසුවෙද්දී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර හෝටලයකදී ඔහු විසින් ඇයට ලිංගික අතවර කරන බවට තර්ජනය කළ බවයි. මීට අමතරව වයස අවුරුදු 17 දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී සිදුවූ බරපතල අපයෝජනයක් ගැන සහ 16 හැවිරිදි දැරියකට අනිසි ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් බලපෑම් කළ බවටද සෙසු කාන්තාවන් දෙදෙනා විසින් එහිදී ප්‍රබල චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම කාන්තාවන්ගේ පාපොච්චාරණයන්ට අමතරව ඔහුගේ සංගීත කණ්ඩායම වන Thirty Seconds to Mars හි හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුද මෙම වැඩසටහනට එක්වෙමින්, ප්‍රසංග අතරතුරදී කුඩා ගැහැණු දරුවන්ව පසුතලයට රැගෙන එන ලෙසට තමන්ට උපදෙස් ලැබී තිබූ බව අනාවරණය කර තිබෙනවා. මෙම සිදුවීම් බොහෝමයක් ඡායාරූප සහ කෙටි පණිවිඩ හරහා තහවුරු කරගැනීමට BBC විමර්ශකයින් සමත්ව ඇති නමුත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් Jared Leto ගේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වනවා.