80% of global Netflix subscribers watch Korean content

80% of global Netflix subscribers watch Korean content

ලොව වැඩිම පිරිසක් නරඹන ඉංග්‍රීසි නොවන නිර්මාණ බවට කොරියානු නිර්මාණ පත්ව ඇති බවත්, ලොව පුරා සිටින Netflix පාරිභෝගිකයින්ගෙන් 80% ක් පමණ කොරියානු නිර්මාණ නරඹන බවට Netflix නවතම දත්තවලින් වාර්තා වෙයි. දකුණු කොරියාව තුළ සිය සේවාවන් ආරම්භ කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් ඔක්තෝබර් 24 සහ 25 දෙදින සෝල් නුවරදී පැවති Netflix Janchi සැමරුම් උළෙලේදී සහ Netflix and Korea: 10 Years නව වෙබ් අඩවිය හරහා සමාගම මෙම දත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට සහභාගී වූ සම ප්‍රධාන විධායක නිලධාරී Ted Sarandos පවසා සිටියේ කොරියාව යනු ඔවුන්ට හුදෙක් වෙළෙඳපොළක් පමණක් නොව නව හැකියාවන් සොයාගත් වටිනාම හවුල්කරුවෙකු බවයි. එහිදී Possible Love, Tantara, All of Us Are Dead Season 2 සහ Solo Leveling යන ඉදිරි නිර්මාණවල පළමු දර්ශන ද එළිදක්වනු ලැබුවා.

2021 වසරේ සිට මේ දක්වා කොරියානු නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් Netflix ගෝලීය Top 10 ලැයිස්තුවට ඇතුළත් වී ඇති අතර, 2025 අප්‍රේල් සිට 2026 මාර්තු දක්වා පමණක් පැය බිලියන 12 ක නැරඹුම් කාලයක් කොරියානු නිර්මාණ වෙනුවෙන් සටහන් වී තිබෙනවා. එය දෙවැනි වන්නේ ඇමරිකානු නිර්මාණවලට පමණයි. Squid Game පළමු සමය සති 32 ක් පුරා ගෝලීය ලැයිස්තුවේ රැඳී සිටිමින් වාර්තා පිහිටුවා ඇති අතර, Teach You a Lesson දෙවනියට වැඩිම පිරිසක් නැරඹූ කොරියානු කතාමාලාව බවට පත්ව තිබෙනවා. එසේම Physical: 100 යනු ගෝලීය ලැයිස්තුවේ පෙරමුණ ගත් ප්‍රථම ඉංග්‍රීසි නොවන unscripted නිර්මාණයයි.

2016 වසරේ සිට ඔවුන් කොරියානු නිෂ්පාදන ආයතන 80 කට අධික සංඛ්‍යාවක් සමඟ එක්ව නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සඳහා නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් 25,000 කට අධික පිරිසක් මෙන්ම අතිරේක ශිල්පීන් 70,000 කට අධික පිරිසක් දායක වී ඇති අතර, කොරියාවේ නගර 100 කට අධික ප්‍රමාණයක රූගත කිරීම් ද සිදුකර තිබෙනවා. 2024 සිට 2026 දක්වා නිර්මාණවලින් තුනෙන් එකකට වඩා නවක අධ්‍යක්ෂකවරුන් සහ රචකයන් අතින් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයක්. ලොව පුරා හඬකැවීම් මැදිරි 119 ක් සහ හවුල්කරුවන් 122 ක් හරහා ඔවුන් සිය නිර්මාණ ප්‍රේක්ෂකයින්ට සමීප කරවන අතර, When Life Gives You Tangerines නිර්මාණය හරහා පමණක් කොරියානු ආර්ථිකයට වොන් බිලියන 90 ක දායකත්වයක් ලැබී තිබෙනවා.

කොරියානු නිර්මාණවල බලපෑම සංස්කෘතික සහ සංචාරක ක්ෂේත්‍රවලට ද තදින්ම දැනී තිබෙනවා. කොරියානු නිර්මාණ නරඹන්නන්ගෙන් 72% ක්ම කොරියාවේ සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වන අතර, චිත්‍රපට රූගත කළ ජෙජු දූපතේ Gimnyeong වෙරළ තීරයේ සංචාරකයින් 96% කින් ඉහළ ගොස් තිබෙනවා. Squid Game තුන්වන සමය නිකුත් වූ සතියේ Duolingo හරහා කොරියානු භාෂාව ඉගෙන ගන්නන් 37% කින් වැඩි වී ඇති අතර කොරියානු භාෂා විභාග (TOPIK) අයදුම්කරුවන් ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. මීට අමතරව Culinary Class Wars හරහා දේශීය ආපනශාලා වෙන්කරවා ගැනීම් සහ අලෙවිය 300% කින් පමණ ඉහළ ගොස් ඇති බව ද අදාළ සංවත්සර වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.