A live-action PUBG series is officially in the works at Netflix

A live-action PUBG series is officially in the works at Netflix

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ PUBG: (PlayerUnknown’s Battlegrounds) වීඩියෝ ක්‍රීඩාව පාදක කරගනිමින් සජීවී ක්‍රියාදාම කතාමාලාවක් Netflix විසින් නිර්මාණය කරන බවට නිළ වශයෙන් නිවේදනය කරයි.

ජනප්‍රිය නිර්මාණකරුවෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන Donald Glover මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඔහු මෙහි තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද දායක වීමට නියමිතයි. එසේම ඔහුගේ සහෝදරයා වන Stephen Glover ද මීට සම රචකයෙකු සහ විධායක නිෂ්පාදකයෙකු ලෙස එක්ව සිටිනවා. මෙය Atlanta, Mr. & Mrs. Smith වැනි නිර්මාණ හරහා සම්මානයට පාත්‍ර වූ Donald Glover විසින් Netflix වෙනුවෙන් සිදුකරන ප්‍රථම ව්‍යාපෘතිය වීම ද විශේෂත්වයක්.

මෙය දකුණු කොරියානු Krafton සමාගම සහ Netflix අතර ඇති කරගත් නව ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන්නක්. සාම්ප්‍රදායික කතාන්දරයක් නොමැතිව, ආයුධ සමඟින් ක්‍රීඩකයින් 100 දෙනෙකු අතරින් අවසන් පුද්ගලයා දක්වා දිවි ගලවා ගැනීමේ සටනක් සහිත මෙම ක්‍රීඩාව කෙසේ කතාමාලාවක් ලෙස දෘශ්‍යකරණය කරනු ඇත්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

Assassin’s Creed, Gears of War වැනි සජීවී ක්‍රියාදාම ව්‍යාපෘති මෙන්ම Minecraft ඇතුළු වීඩියෝ ක්‍රීඩා පාදක කරගත් නිර්මාණ රැසක්ම මේ වන විටත් Netflix විසින් සිය ඉදිරි නිර්මාණ ලැයිස්තුවට එක් කරගෙන තිබෙනවා.