China is replacing celebrities with scientists on billboards

China is replacing celebrities with scientists on billboards

චීනයේ නගර රැසක දැවැන්ත වාණිජ දැන්වීම් පුවරු, වෙළෙඳ සංකීර්ණවල LED තිර සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානවල එතෙක් ප්‍රදර්ශනය කළ සිනමා තරු, නිරූපණ ශිල්පීන් සහ විවිධ වෙළෙඳ දැන්වීම් වෙනුවට එරට පුරෝගාමී විද්‍යාඥයින්ගේ රූප ප්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

2026 වසරේ අගෝස්තු මස අගභාගයේදී Shandong පළාතේ Heze සහ Zibo වැනි ප්‍රදේශවලින් ස්වේච්ඡාවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන, ඉතා කෙටි කාලයක් තුළ Zhengzhou, Hangzhou, Chongqing, Jinan සහ Hefei ඇතුළු ප්‍රධාන නගර රැසක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මුල යෙදී තිබුණු චීන ජාතික දිනය වන විට මෙය සමස්ත ජාතියේම අවධානය දිනාගත් ප්‍රධාන මාතෘකාවක් බවට ද පත්ව තිබුණා.

මෙලෙස ප්‍රදර්ශනය කරන විද්‍යාඥයින් අතරට චීන අභ්‍යවකාශ සහ මිසයිල වැඩසටහනේ පියා ලෙස සැලකෙන Qian Xuesen, න්‍යෂ්ටික අවි පර්යේෂණවල ප්‍රධානියා වූ Deng Jiaxian, දෙමුහුන් වී වගාව හඳුන්වා දුන් Yuan Longping සහ 2015 වසරේ නොබෙල් ත්‍යාගලාභී Tu Youyou ඇතුළු පිරිසක් අයත් වනවා. ඊට අමතරව න්‍යෂ්ටික සබ්මැරීන නිර්මාණකරු Huang Xuhua සහ රේඩියෝ තාරකා විද්‍යාඥ Nan Rendong ගේ රූප ද මීට ඇතුළත්. මෙම රූපවල ඔවුන්ගේ නම සහ දායකත්වය සමඟින් අප අනුගමනය කළ යුතු සැබෑම තරු මොවුන්ය සහ ජාතියේ කොඳුනාරටියට අපගේ උත්තමාචාරය වැනි ආදර්ශමත් වැකි ද සටහන් කර තිබීම විශේෂත්වයක්.

මෙය රජය විසින් පැනවූ වාණිජ දැන්වීම් තහනමක් නොවන අතර, වෙළෙඳ සංකීර්ණ හිමිකරුවන්, මෙට්‍රෝ පද්ධති සහ දේශීය ව්‍යාපාරිකයින් ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් බවයි වාර්තා වන්නේ. මෙම සුවිශේෂී වෙනස සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි යහපත් ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා.. බොහෝ විදෙස් රටවල ජනතාව තම රටවල් ද මෙවැනි පියවරක් ගත යුතු බවට අදහස් දක්වා තිබෙනවා