Andrew Tate’s Bugattis and Aston Martin were reportedly rented

Andrew Tate’s Bugattis and Aston Martin were reportedly rented

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට අපහාස කරමින් අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් ප්‍රදර්ශනය කළ ආන්දෝලනාත්මක චරිතයක් වන Andrew Tate සහ ඔහුගේ සොහොයුරු Tristan Tate ගේ සුපිරි මෝටර් රථ ඇතුළු දේපළ රැසක් ඔවුන්ට අයත් ඒවා නොවන බව ඔවුන්ගේ නීතිඥයින් විසින් ඇමරිකාවේ අධිකරණයක් හමුවේ පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වීඩියෝවල නිතර දක්නට ලැබුණු ඩොලර් මිලියන 2.1 ක් වටිනා Aston Martin රථය සහ ඩොලර් මිලියන 5 ක් මෙන්ම 7 ක් වටිනා Bugatti රථ කුලියට ගත් ඒවා බවත්, ඔවුන් ප්‍රවර්ධනය කළ Superyacht යාත්‍රාව වෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙවා ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

අන්තර්ජාලය තුළ තමන් දැවැන්ත ධනවතුන් (‘uberwealthy’) ලෙස පෙන්වමින් සිදු කරන ලද මෙම ව්‍යාජ රංගනය හුදෙක් ප්‍රේක්ෂක අවධානය දිනාගනිමින් ඔවුන්ගේ අන්තර්ජාල පාඨමාලා අලෙවි කරගැනීමේ ව්‍යාපාරික උපක්‍රමයක් පමණක් බවයි නීතිඥයින් පෙන්වා දෙන්නේ. සමාජ මාධ්‍ය තුළ නිතරම “What colour is your Bugatti?” යනුවෙන් පවසමින් අන් අයව පහත් කර සැලකූ ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

පසුගිය ජූලි 18 වනදා ඇමරිකාවේ Miami හිදී US Marshals නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය විසින් කළ ඉල්ලීමකට අනුවයි. 2010 සහ 2017 අතර කාලය තුළ කාන්තාවන් 7 දෙනෙකුට අදාළව සිදු වූ ස්ත්‍රී දූෂණ, මිනිස් ජාවාරම්, ළමා අපයෝජන සහ අසභ්‍ය දර්ශන ඇතුළු බරපතළ චෝදනා 59 ක් ඔවුන්ට එරෙහිව බ්‍රිතාන්‍යය තුළ ගොනු කර තිබෙනවා. ඉන් චෝදනා 42 ක් Andrew Tate ට එරෙහිව ද, තවත් චෝදනා 17 ක් Tristan Tate ට එරෙහිව ද එල්ල වී ඇති අතර, මීට පෙර රුමේනියාව තුළදී ද ඔවුන් මෙවැනිම චෝදනා මත නීතියේ රැහැනට කොටු වුණා.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වී ඇති මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන Tate සොහොයුරන්, තමන් රටින් පලායාමේ අවදානමක් නොමැති බව පවසමින් ඇප අපේක්ෂාවෙන් පසුවනවා. තවද මේවා හුදෙක් දේශපාලනික අරමුණින් එල්ල කරන ලද චෝදනා බව පවසමින්, තමන්ව බ්‍රිතාන්‍යයට පිටුවහල් කිරීමට එරෙහිව ඔවුන් මේ දිනවල දැවැන්ත නීතිමය සටනක නිරත වෙමින් සිටිනවා.