
Canadian Supreme Court upholds ruling invalidating Tamil Genocide Education Week Act
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට කැනඩාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සකස් කර තිබූ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරයි.
ශ්‍රී ලංකාව තුළ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට සඳහන් කරමින් කැනඩාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සකස් කර තිබූ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) වලංගු නොවන බවට එරට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
2022 වසරේදී මැයි 18 වනදා දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුව හරහා මෙම පනත සම්මත කරගෙන තිබූ අතර, ඊට එරෙහිව කැනඩාවේ Laurentian University හි අනුබද්ධ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය නෙවිල් හේවගේ විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඩොලර් 350,000 ක පමණ පෞද්ගලික අරමුදලක් යොදවමින් නීතිඥ කණ්ඩායමකගේ සහාය ඇතිව ඔහු ගොනු කළ නඩුව විභාග කළ ඔන්ටාරියෝ අධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය විසින් 1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ 93 වන වගන්තිය යටතේ මෙම පනත වලංගු නොවන බවට මීට පෙර තීන්දු කර තිබුණා.
අදාළ නඩු තීන්දුව තහවුරු කරමින් කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මෙම අවසන් තීරණයත් සමඟ එම කරුණු මින් ඉදිරියට කැනේඩියානු පාසල් විෂයමාලා තුළ ඉගැන්වීමට නීත්‍යානුකූල අවස්ථාවක් හිමි නොවන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නෙවිල් හේවගේ පවසා ඇත්තේ “ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව උසස් අධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය යන දෙකම තීරණය කළ නිසා එල්.ටී.ටී.ඊ හිතවාදීන් කලබල වී ඇත. කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය නොකරනු ඇත. සත්‍යය ශක්තිමත්ව පවතී” යනුවෙනි.
Discussion
No comments yet — start the conversation.