Colombo Commercial High Court delivers historic ruling to prevent company directors from fleeing the country after bankruptcy

Colombo Commercial High Court delivers historic ruling to prevent company directors from fleeing the country after bankruptcy

බැංකුවලින් ණය ලබාගෙන සමාගම් බංකොලොත් වූ පසු අධ්‍යක්ෂවරුන් රටින් පලා යාම වැළැක්වීමට Hela Clothing නඩුව හරහා කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

සමාගම් ව්‍යුහයන් අනිසි ලෙස භාවිත කරමින් බැංකුවලින් ණය ලබාගෙන සමාගම් බංකොලොත් වූ පසු අධ්‍යක්ෂවරුන් රටින් පලා යාම වැළැක්වීම සඳහා, සමාගම් ඈවර කිරීමේ සිවිල් නඩු කටයුතුවලදී එහි අධ්‍යක්ෂවරුන්ට විදේශ ගමන් තහනම් පැනවීමට නීතිමය බලය පවතින බව කොළඹ වාණිජ මහාධිකරණය ඉතිහාසයේ පළමු වරට තහවුරු කර තිබෙනවා.

Hela Clothing (Pvt) Ltd සහ Foundation Garments (Pvt) Ltd සම්බන්ධයෙන් පවරා තිබූ ඈවර කිරීමේ නඩු (CHC 51/2026/CO සහ CHC 53/2026/CO) සඳහා ණයහිමියෙකු වශයෙන් මැදිහත් වූ Commercial Bank of Ceylon PLC විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිවන් කුරේ හරහා අදාළ සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මීට පෙර විදෙස් ගමන් සීමා පනවමින් අතුරු නියෝග ලබාගෙන තිබුණා. අනතුරුව F. J. & G. de Saram නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අවින්ද්‍ර රොද්‍රිගෝ මගින් අදාළ අධ්‍යක්ෂවරුන් විසින් එම විදෙස් ගමන් සීමා ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු චමත් මදනායක විසින් ඔක්තෝබර් 13 වැනිදා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්, එවැනි විදෙස් ගමන් සීමා පැනවීමට වාණිජ මහාධිකරණයට ඇති අධිකරණ බලය තහවුරු කර තිබෙනවා. ඒ අනුව අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත විය නොහැකි වන පරිදි අදාළ සමාගම් දෙකෙහි අධ්‍යක්ෂවරුන්ට පනවා ඇති විදේශ ගමන් සීමා තවදුරටත් පවත්වාගෙන යාමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මූල්‍ය අක්‍රමිකතාවලින් ජාතික ආර්ථිකය මෙන්ම ණයහිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, බැංකු පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීමටත් මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාණිජ නීති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.