Unknown gunmen open fire on Bollywood star Tiger Shroff

Unknown gunmen open fire on Bollywood star Tiger Shroff

බොලිවුඩ් නළු Tiger Shroff ගමන් ගත් BMW මෝටර් රථයට Mumbai හි Juhu ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ (18) පස්වරු 7.00 ට පමණ ඔහු පාපන්දු තරගයකට සහභාගී වී Pushpa Park ආසන්නයෙන් පිටව යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් Tiger Shroff හට කිසිදු අනතුරක් සිදුව නැහැ.

මෝටර් රථය ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර තුනක් හෝ හතරක් එල්ල වී ඇති අතර, එහිදී Tiger Shroff ගේ රියදුරු වන Firdaus ගේ අතකට වෙඩි වැදී තිබෙනවා. ඔහු මේ වන විට Nanavati රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. එමෙන්ම එම ස්ථානයේ රැඳී සිටි Umesh Chavan නමැති තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා Mumbai පොලිසියේ විශේෂ කණ්ඩායම් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් යොදවා ඇති අතර, CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදු කරමින් එක් පුද්ගලයෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන තිබෙනවා. මේ අතර Tiger Shroff පොලිස් ආරක්ෂාව යටතේ නිරුපද්‍රිතව සිය නිවස වෙත ගොස් ඇති බව Jackie Shroff ගේ පාර්ශවය විසින් ද තහවුරු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කෙටි වේලාවකට පසුව Lawrence Bishnoi පාතාල කල්ලිය වෙනුවෙන් පෙනී සිටින Anil Pandit සහ Harman Sandhu නමැති පුද්ගලයින් දෙදෙනෙකු සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා. Salman Khan සමඟ පවත්වන සමීප සබඳතාවය හේතුවෙන් අනතුරු ඇඟවීමක් ලෙස Tiger Shroff ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් එහි සඳහන් කර ඇති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.