Concerns rise as tusker Kawanthissa bleeds from leg with no wildlife treatment yet

Concerns rise as tusker Kawanthissa bleeds from leg with no wildlife treatment yet

කාවන්තිස්ස ඇතාගේ පාදයක තුවාල, වෙඩි තබා ඇතිදැයි සැකයක්, වනජීවි දෙපාර්තමේන්තුවෙන් තවමත් ප්‍රතිකාර නොකරන බවට චෝදනා.

ශ්‍රී ලංකාවේ අතිශය ආදරය දිනූ වනගත හස්තියෙකු වන කාවන්තිස්ස ඇතාගේ පාදයකට යම් තුවාලයක් සිදුවී එයින් රුධිරය ගලායන ආකාරය නිරීක්ෂණය වී ඇතත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන තෙක් ඒ පිළිබඳව සොයා බලා කිසිදු ප්‍රතිකාරයක් සිදු කිරීමට පැමිණ නොමැති බවට වාර්තා වනවා. පසුගිය සැප්තැම්බර් 22 වනදා ඇතාව සමීපව නිරීක්ෂණය කිරීමට නොහැකි වුවද, ඊට පෙර දින එනම් සැප්තැම්බර් 21 වනදා පරීක්ෂා කිරීමේදී සිරුරේ එවැනි කිසිදු අලුත් තුවාලයක් දක්නට නොතිබූ බවයි වනජීවී ලෝලීන් පෙන්වා දෙන්නේ.

කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයේ දණහිසට ඉහළින් පැරණි වෙඩි වැදුණු ගැට දෙකක් පවතින අතර, මද සමයේදී එවැනි පැරණි තුවාල නැවත පැසවීමට ලක්ව රුධිරය හෝ සැරව ගලායන ආකාරය මීට පෙර වසරවලදී ද නිරීක්ෂණය වී තිබුණා. කෙසේ වෙතත් ඊයේ දිනයේ දක්නට ලැබුණු මෙම තුවාලය එවැනි පැරණි තුවාලයක් අලුත් වීමක්ද, නැතහොත් අලුතින් එල්ල වූ වෙඩි තැබීමක් හෝ වෙනත් ඇතෙකුගේ පහරදීමක් නිසා සිදුවූවක්ද යන්න තවමත් තහවුරු වී නොමැති පසුබිමක, වනජීවී නිලධාරීන් තවමත් එම ස්ථානයට පැමිණ බෙහෙත් කිරීමට පියවර නොගැනීම දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබෙනවා.

කාවන්තිස්ස ඇතා සතු ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන් මිනිසුන්ගෙන් එල්ල විය හැකි අවදානම සාපේක්ෂව අඩු වුවද, ඇතාගේ ජීවිතාරක්ෂාවට පවතින තර්ජනය කිසිසේත්ම බැහැර කළ නොහැකියි. එම නිසා තවදුරටත් කල් නොමරා වනජීවී බලධාරීන් වහාම එම ස්ථානයට පැමිණ, තුවාලය සමීපව නිරීක්ෂණය කර කාවන්තිස්ස ඇතාට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට කටයුතු කළ යුතු බවයි පරිසර හිතකාමීන් දැඩි ලෙස අවධාරණය කර සිටින්නේ.