Five hospitals have been closed in Siberia, Russia due to possible plague outbreak

Five hospitals have been closed in Siberia, Russia due to possible plague outbreak

මාරාන්තික වසංගත රෝග තත්ත්වයක් පැතිර යාමේ දැඩි අවදානමක් හමුවේ රුසියාවේ සයිබීරියානු කලාපයේ රෝහල් පහක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. Irkutsk Anti-Plague පර්යේෂණ ආයතනයේදී සජීවී Yersinia pestis බැක්ටීරියාව අඩංගු පරීක්ෂණ නළයක් අතින් බිඳී යාමෙන් අනතුරුව ඇති වූ ආසාදනයක් හේතුවෙන්, එහි සේවය කළ 28 හැවිරිදි රසායනාගාර ශිල්පිනී Darya Shipilova පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වීම මෙයට ප්‍රධානතම හේතුවයි.

මෙම සිදුවීමත් සමඟ ඉර්කුට්ස්ක් හි අංක 1, 3 සහ 10 සායනික රෝහල්, Ivano-Matreninskaya ළමා සායනික රෝහල මෙන්ම ඇය ප්‍රතිකාර ලැබූ Shelekhov රෝහල ඇතුළු රෝහල් පහක් සති තුනක කාලයකට මෙලෙස වසා දමා නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මීට අමතරව ඇය ඇසුරු කළ පුද්ගලයින් 189 දෙනෙකු දැඩි වෛද්‍ය නිරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, අදාළ පර්යේෂණ ආයතනයේ සේවකයින් 60 කට අධික පිරිසක් ද පරිශ්‍රය තුළම හුදකලා කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ ප්‍රධාන කර්මාන්තශාලාවල සේවකයින් සඳහා මුහුණු ආවරණ පැළඳීම ද අනිවාර්ය කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් රුසියානු සෞඛ්‍ය බලධාරීන් රසායනාගාර අනතුරක් හෝ වසංගත රෝග තත්ත්වයක් පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, හඳුනා නොගත් හේතුවක් මත හටගත් නියුමෝනියා (pneumonia of unknown aetiology) තත්ත්වයකින් බවයි. මේ හේතුවෙන් සිද්ධිය වටා තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් පවතින බවට ද ජාත්‍යන්තර මාධ්‍ය තුළ සැක මතු වෙමින් පවතිනවා.