Gone Girl actress Rosamund Pike visits Sri Lanka as country enters final stretch of landmine clearance

Gone Girl actress Rosamund Pike visits Sri Lanka as country enters final stretch of landmine clearance

Gone Girl චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ, Mines Advisory Group හෙවත් MAG හි තානාපතිනියක වන බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී Rosamund Pike විශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බිම්බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ දැවැන්ත වැඩසටහන අවසන් අදියරට පැමිණීමත් සමගින් ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ආරම්භයේදී හඳුනාගත් බිම්බෝම්බ සහිත ප්‍රදේශවලින් මේ වන විට ඉතිරිව ඇත්තේ සියයට 10 කටත් වඩා අඩු ප්‍රමාණයක් හෙවත් වර්ග කිලෝමීටර 20.8 ක ප්‍රමාණයක් පමණක් වන අතර, එම ප්‍රදේශ බොහොමයක් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටා තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ මිලියනයකට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය මිලියනයකට අධික ප්‍රමාණයක් සාර්ථකව ඉවත් කර ඇති අතර, තහවුරු කරන ලද බිම්බෝම්බ රහිත භූමීන් තුළ පුද්ගලයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නැවත පදිංචි වී තිබෙනවා. එමෙන්ම 2002 වසරේදී 252 ක් ලෙස සටහන් වූ බිම්බෝම්බ අනතුරු හේතුවෙන් සිදුවූ මරණ සහ තුවාල ලැබීම් සංඛ්‍යාව 2024 වසර වන විට 2 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටීමට ද මෙම බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් දැඩි ලෙස බලපා තිබෙනවා.

තම සංචාරය අතරතුර මාන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල පිහිටි බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍ර වෙත යන Rosamund Pike, එහිදී ශ්‍රී ලාංකික බිම්බෝම්බ ඉවත් කරන්නන් සහ ඉන් පීඩාවට පත් පවුල් හමුවීමට නියමිතයි. මීට අමතරව ඇය පාසලක පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනකට ද එක්වීමට නියමිත අතර, අග්‍රාමාත්‍ය Harini Amarasuriya සහ National Mine Action Centre හි නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා. දැවැන්ත බිම්බෝම්බ තර්ජනයකට ලක්ව පසුව එම තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු ලොව ප්‍රථම රටවල් අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.