Google planning to release millions of mosquitoes into California to help stop diseases

Google planning to release millions of mosquitoes into California to help stop diseases

ඇමරිකාවේ California සහ Florida ප්‍රාන්ත වෙත විශේෂිතව සකස් කරන ලද මදුරුවන් මිලියන 32ක් පමණ මුදාහැරීම සඳහා Google සමාගම මේ වන විට ඇමරිකානු රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩෙංගු (Dengue), සිකා (Zika), කහ උණ (Yellow fever) සහ වෙස්ට් නයිල් (West Nile) වැනි මදුරුවන් මඟින් බෝවන භයානක රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඔවුන් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

Debug නමින් හැඳින්වෙන Google හි ව්‍යාපෘතියක් යටතේ මෙය ක්‍රියාත්මක වන අතර, මේ සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඇමරිකානු පරිසර ආරක්ෂණ නියෝජිතායතනය (EPA) වෙත අදාළ යෝජනාව මේ වන විටත් ඉදිරිපත් කර ඇත.

මෙහිදී පරිසරයට මුදාහරින්නේ Wolbachia නැමති ස්වභාවික බැක්ටීරියාවක් ආසාදනය කරන ලද පිරිමි මදුරුවන් පමණක් වීම ද විශේෂත්වයක්. පිරිමි මදුරුවන් මිනිසුන්ගේ ලේ උරා නොබොන බැවින් මේ හරහා මිනිසුන්ට කිසිදු කරදරයක් සිදු නොවන අතර, මෙම බැක්ටීරියාව සහිත පිරිමි මදුරුවන් සාමාන්‍ය ගැහැණු මදුරුවන් සමඟ සංවාසයේ යෙදීමෙන් බිහිවන මදුරු කීටයන් ස්වභාවිකවම විනාශ වී යාම සිදුවෙනවා. ඒ හරහා රෝග බෝකරන මදුරු ගහනය සාර්ථකව පාලනය කළ හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම ව්‍යාපෘතිය මීට පෙරද අතිශය සාර්ථක ප්‍රතිඵල පෙන්වා දී තිබීම විශේෂත්වයක්. 2016 වසරේදී ආරම්භ කළ Project Wolbachia නමින් සිංගප්පූරුව තුළ Google සමාගම විසින් සිදුකළ අත්හදා බැලීම්වලින් ඩෙංගු අවදානම 70% කටත් වඩා අඩු කරගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. එමෙන්ම 2018 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියාවේ Fresno ප්‍රදේශයේ පැවැත්වූ අත්හදා බැලීමකදී රෝග බෝකරන මදුරු ගහනය 95% කින් පමණ විනාශ කර දැමීමට ඔවුන්ට හැකි වුණා. එම සාර්ථකත්වය මතයි අනුමැතිය ලැබුණු පසු ඉදිරි වසර දෙක තුළ මෙම ව්‍යාපෘතිය තවත් විශාල ප්‍රදේශ ගණනාවකට පුළුල් කිරීමට ඔවුන් මේ වන විට සූදානම් වන්නේ.

මෙතරම් දැවැන්ත මදුරුවන් ප්‍රමාණයක් බෝ කිරීම, ඔවුන්ගෙන් පිරිමි සතුන් පමණක් වෙන් කිරීම සහ පරිසරයට මුදාහැරීමේ සම්පූර්ණ ක්‍රියාවලියම ඉතා නිවැරදිව සිදු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය යොදාගැනීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.