Google to restrict Android app sideloading starting this September

Google to restrict Android app sideloading starting this September

ලොව පුරා සිටින Android දුරකථන පරිශීලකයන් බහුලවම භාවිත කරන Google Play Store එකෙන් පිටතින් APK ලෙස යෙදුම් ස්ථාපනය කිරීමේ (Applications Install) කිරීමේ ක්‍රියාවලිය හෙවත් Sideloading සඳහා දැඩි සීමාවන් පැනවීමට Google සමාගම සූදානම් වනවා. එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නීති මාලාව හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම නව නීති යටතේ Android උපාංග සඳහා යෙදුම් නිර්මාණය කරන සියලුම ඩිවෙලොපර්වරුන් Google සමාගම වෙත නිල වශයෙන් ලියාපදිංචි විය යුතු අතර, ඒ සඳහා රජයෙන් නිකුත් කළ හැඳුනුම්පතක් ද ඉදිරිපත් කළ යුතු වනවා. යම් හෙයකින් එලෙස ලියාපදිංචි නොවූ ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් ලබාගන්නා app එකක් දුරකථනයට ඇතුළත් කිරීමට උත්සාහ කළහොත්, සාමාන්‍යයෙන් තත්පර කිහිපයකින් සිදුවන Sideloading ක්‍රියාවලිය වෙනුවට පැය 24ක ආරක්ෂිත පොරොත්තු කාලයක් ඇතුළු ඉතාමත් සංකීර්ණ පියවර රැසක් අනුගමනය කිරීමට පරිශීලකයන්ට සිදුවනවා.

අන්තර්ජාලය හරහා සිදුවන විවිධ මූල්‍ය වංචා සහ අනවසර ඇතුළුවීම්වලින් පරිශීලකයන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගන්නා බව Google සමාගම ප්‍රකාශ කළද, මේ පිළිබඳව ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග නිර්මාණකරුවන් සහ පුද්ගලිකත්ව ආරක්ෂකයන් සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙමගින් Android පද්ධතිය සතු නිදහස අහිමි වී යන අතර, තමන් කැමති ඇප් එකක් ස්වාධීනව භාවිත කිරීමට ඇති අයිතිය ද මේ හරහා බාධාවට ලක්වන බවයි.

මේ ගැන ඔයාගේ අදහස මොකක්ද?