Samsung trolls Apple with Tim Cook ad for Galaxy Z Fold 8

Samsung trolls Apple with Tim Cook ad for Galaxy Z Fold 8

Apple සමාගම උපහාසයට ලක් කරමින් එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Tim Cook යොදාගනිමින් Samsung සමාගම විසින් Galaxy Z Fold 8  ප්‍රචාරණ වීඩියෝ පටයක් නිකුත් කරයි.

Apple සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Tim Cook හා සමාන රූප ස්වභාවයක් මෙන්ම ඔහුගේ නම ද සහිත වෙනත් පුද්ගලයෙකු යොදාගනිමින් සිය නවතම Galaxy Z Fold 8 ජංගම දුරකථනය ප්‍රවර්ධනය කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. නවසීලන්තයේ Palmerston North ප්‍රදේශයේ දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වන මෙම Tim Cook නැමැති පුද්ගලයා යොදාගනිමින්, Samsung New Zealand ආයතනය විසින් මෙම අපූරු ප්‍රචාරණ ව්‍යාපාරය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Apple සමාගමේ නිල නිෂ්පාදන එළිදැක්වීම්වලට සමාන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව හරහා, ඔහු Galaxy Z Fold 8 ජංගම දුරකථනය තමා භාවිත කළ හොඳම දුරකථනය බව පවසමින් එය අතිශය අගය කිරීමකට ලක් කරනවා. තවද ඔහු පැළඳ සිටින ඇස් කණ්ණාඩි මෙන්ම ඇඳුම් විලාසිතාව ද සැබෑ Tim Cook ට බොහෝ දුරට සමාන වීම හේතුවෙන් මෙය Apple සමාගමට සිදුකළ සෘජු උපහාසයක් ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දෙනවා.

පසුගියදා Apple සමාගම සිය ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo නිල වශයෙන් හඳුන්වා දීමෙන් අනතුරුව වහාම මෙම ප්‍රචාරණ දැන්වීම නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබීම ද මෙහිදී වඩාත් විශේෂත්වයක්. 2019 වසරේ සිට නම්‍යශීලී දුරකථන වෙළඳපොළ තුළ අත්දැකීම් ඇති Samsung සමාගම, සිය ප්‍රධානතම ප්‍රතිවාදියාට උපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙලෙස ඉතාම නිර්මාණශීලී සහ හාස්‍යජනක උපක්‍රමයක් භාවිත කර තිබෙනවා.

එම ප්‍රචාරණ වීඩියෝ පටය