Indian Supreme Court advises Tamil Nadu fishermen to respect Sri Lankan maritime boundary

Indian Supreme Court advises Tamil Nadu fishermen to respect Sri Lankan maritime boundary

කච්චතීවු දූපත නැවත පවරාගන්නා ලෙස ගොණු කල පෙත්සමට පිළිතුරු දෙමින් කච්චතීවු අයිති ශ්‍රී ලංකාවට බවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමෙන් වළකින ලෙස තමිල්නාඩු ධීවරයින්ව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් 1974 සහ 1976 ඉන්දු-ලංකා මුහුදු සීමා ගිවිසුම්වලට එරෙහිව 2008 වසරේදී A.K. Selvaraj ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් පසුගිය ඔක්තෝබර් 06 වැනිදා New Delhi හිදී යළි විභාගයට ගැනුණා. ඉන්දීය රජය නියෝජනය කරමින් නීතිපති R. Venkataramani එහිදී ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සමඟ පවතින “විශිෂ්ට සබඳතාවයට” හානි කරගැනීමට ඉන්දියාවට අවශ්‍ය නොවන බැවින් මෙම ගිවිසුම් නැවත විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ P. Wilson තර්ක කළේ Berubari Union නඩුවේ මූලධර්මයට අනුව මෙහිදී භූමියක් පවරා දීමක් සිදුව ඇති බැවින්, එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමකින් තොරව සිදුකළ නොහැක්කක් බවයි. එමෙන්ම මෙම ගිවිසුම් හරහා තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපායට සහ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

විනිසුරු Sanjay Kumar සහ විනිසුරු Sanjeev Sachdeva යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කළේ, පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ධීවරයන්ව දැනුවත් කළ යුතු බවයි. සාගර දූෂණය හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත අඩුවීම නිසා ධීවරයින් මෙලෙස සීමා ඉක්මවා යන බව නීතිපතිවරයා පැවසූ අතර, විනිසුරු Sanjay Kumar සඳහන් කළේ තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී එරට ජනතාව කැළි කසළ බැහැර නොකර පරිසරය ආරක්ෂා කිරීමට දක්වන දැඩි සමාජ වගකීම දැක පුදුමයට පත් වූ බවයි. ශ්‍රී ලාංකිකයින් විසින් සාගරය අපවිත්‍ර නොකිරීම හේතුවෙන් මත්ස්‍යයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව දෙසට සංක්‍රමණය වීමට ඉඩ ඇති බවද ඔහු එහිදී නිරීක්ෂණය කළා.

කෙසේ වෙතත්, 1974 දී ඉන්දීය අග්‍රාමාත්‍ය Indira Gandhi සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම්වල නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැති අතර, අදාළ නඩුවේ වැඩිදුර විභාගය 2027 පෙබරවාරි මාසය දක්වා කල් දමා තිබෙනවා.