Internet accuses Apple of photoshopping long fingers into iPhone Duo marketing

Internet accuses Apple of photoshopping long fingers into iPhone Duo marketing

Apple සමාගමේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo එක් අතකින් පහසුවෙන් රඳවාගත හැකි බව පෙන්වීම සඳහා අස්වාභාවික ලෙස දිගු ඇඟිලි සහිත දෑත් සංස්කරණය කර (photoshop) ප්‍රවර්ධන ඡායාරූප සඳහා එක් කර ඇති බවට චෝදනා.

Apple සමාගමේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo හි ප්‍රවර්ධන ඡායාරූප සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ එම ජංගම දුරකථනය එක් අතකින් පහසුවෙන් රඳවාගත හැකි බව පෙන්වීම සඳහා Apple සමාගම විසින් අස්වාභාවික ලෙස දිගු ඇඟිලි සහිත දෑත් එම ඡායාරූපවලට සංස්කරණය කර (photoshop) ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් චෝදනා කිරීමත් සමඟයි.

ඊයේ දිනයේ පැවති අදාළ එළිදැක්වීමේ උළෙලේ ප්‍රදර්ශනය කළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමීපව නිරීක්ෂණය කිරීමේදී මෙම තත්ත්වය පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දෙනවා. අඟල් 7.6 ක දැවැන්ත ඇතුළත තිරයක් සහිත මෙම ජංගම දුරකථනය සාමාන්‍ය ප්‍රමාණයේ අතක් සහිත පුද්ගලයෙකුට එක් අතකින් භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු බැවින්, එය පහසු බව පෙන්වීමට මෙලෙස ඩිජිටල් තාක්ෂණයෙන් ඇඟිලි දිගු කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ හේතුවෙන් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මෙය දැඩි ලෙස හාස්‍යයට ලක් කර තිබුණා.

කෙසේ වෙතත් දිගහැරිය විට අඟල් 7.6 ක තිරයක් සහ නැවූ විට අඟල් 5.4 ක තිරයක් සහිත iPhone Duo ජංගම දුරකථනය මෙතෙක් නිපදවූ තුනීතම iPhone මාදිලිය ලෙසයි සැලකෙන්නේ. ඇමරිකානු ඩොලර් 1999 ක ආරම්භක මිලක් යටතේ එළඹෙන ඔක්තෝබර් 16 වනදා සිට මෙය ඇණවුම් කිරීමේ හැකියාව පවතින අතර, ඔක්තෝබර් 23 වනදා සිට නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.