Miami police officers sue Matt Damon and Ben Affleck over Netflix thriller ‘The Rip’

Miami police officers sue Matt Damon and Ben Affleck over Netflix thriller ‘The Rip’

ජනප්‍රිය හොලිවුඩ් නළුවන් වන මැට් ඩේමන් සහ බෙන් ඇෆ්ලෙක් හට මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සමාගම වන Artists Equity ආයතනයට එරෙහිව මියාමි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. මේ සඳහා හේතු වී ඇත්තේ මෙම වසරේ ජනවාරි 16 වනදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වූ ඔවුන්ගේ ‘The Rip’ නමැති චිත්‍රපටයයි. ජොනතන් සන්ටානා සහ ජේසන් ස්මිත් නම් මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ ෂෙරිෆ් කාර්යාලයට අනුයුක්ත මෙම සැරයන්වරුන් දෙදෙනා පවසන්නේ චිත්‍රපටය හරහා තමන්ව දූෂිත පොලිස් නිලධාරීන් ලෙස පෙන්වා ඇති බවත්, චිත්‍රපටය නරඹන ඕනෑම අයෙකුට මෙම දූෂිත චරිත තමන් බවට හඳුනා ගැනීමට හැකි බවත්, තමන් කිසිම දිනක එවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත නොවූ බවත් ඒ හේතුවෙන් තමන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ගෞරවයට බරපතළ හානි සිදුව ඇති ඔවුන් අවධාරණය කරනවා.

මෙම චිත්‍රපටය 2016 වසරේ මියාමි ලේක්ස් ප්‍රදේශයේ නිවසක තිබී ඇමරිකානු ඩොලර් මිලියන 21කට අධික මුදලක් අත්අඩංගුවට ගත් සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක් බව නිෂ්පාදකයින් විසින්ම ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එම මෙහෙයුමට සැබැවින්ම සම්බන්ධ වූ මෙම නිලධාරීන් පවසන්නේ චිත්‍රපටය තුළ එම චරිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් සොරකම් කරන සහ ෆෙඩරල් නිලධාරීන් ඝාතනය කරන පිරිසක් ලෙස නිරූපණය කිරීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. නඩුව පවරා ඇති නිලධාරීන්ගේ පාර්ශවය සඳහන් කරන්නේ චිත්‍රපටය නිපදවන කාලයේදීම මෙවැනි අසත්‍ය තොරතුරු ඇතුළත් නොකරන ලෙස ඔවුන් නිල වශයෙන් දැනුම් දී තිබුණද (Cease and Desist), මැට් ඩේමන් සහ බෙන් ඇෆ්ලෙක් ඇතුළු කණ්ඩායම එම ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි.

මෙම නඩුව හරහා අදාළ නිලධාරීන් විසින් වන්දි මුදලක් මෙන්ම චිත්‍රපටය පිළිබඳ ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සහ චිත්‍රපටය ආරම්භයේදී මෙය සැබෑ පුද්ගලයන් නිරූපණය නොකරන බවට පැහැදිලි නිවේදනයක් (Disclaimer) ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. මේ වන විටත් මෙම චිත්‍රපටය නිසා තම පවුලේ අය සහ මිතුරන් තමන් දූෂිත ක්‍රියාවල නිරත වූ බවට සැක කරන තත්ත්වයක් උදාවී ඇති බවයි නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

තවත් විශේෂ කරුණක් වන්නේ මෙම මෙහෙයුමට සෘජුව සම්බන්ධ නොවූ පොලිස් නිලධාරියෙකු වන කපිතාන් ක්‍රිස් කැසියානෝ හට මෙම චිත්‍රපටයේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායම මුදල් ගෙවා තිබීමයි.

මීට අමතරව Hialeah නගරාධිපති බ්‍රයන් කැල්වෝ ද මෙම චිත්‍රපටයට එරෙහිව සිය විරෝධය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ සැබෑ සිදුවීම මියාමි ලේක්ස් ප්‍රදේශයේ සිදුවුවද චිත්‍රපටයේදී එය හියාලියා නගරය තුළ සිදුවන බව පෙන්වීම හරහා තම නගරයේ පොලිස් නිලධාරීන්ට අගෞරවයක් සිදුව ඇති බවයි.