
Ministry of Digital Economy confirms Mobile Number Portability will not launch in September.
ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දෙන Mobile Number Portability හෙවත් MNP සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ නොකරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසයේදී MNP සේවාව සක්‍රීය වන බව නොව, අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව සැප්තැම්බර් මස අග වන තෙක් බවයි. එම කාලය තුළත් අදාළ දුරකථන සේවා සපයන සමාගම් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව සෘජු නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCSL පියවර ගනු ඇති.
ඒ අනුව සැප්තැම්බර් මස අග යනු අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව මිස සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ශ්‍රී ලංකාව තුළ ජනතාව වෙත ලබා දීමට රජය කැපවී සිටින අතර, මෙකී සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී විධිමත්ව දැනුම් දෙනු ලබනවා.
Discussion
No comments yet — start the conversation.