Netflix Actress Maitreyi Ramakrishnan affirms Eelam Tamil identity and rejects Sri Lankan label

Netflix Actress Maitreyi Ramakrishnan affirms Eelam Tamil identity and rejects Sri Lankan label


Netflix කතා මාලාවන්හි නිළි Maitreyi Ramakrishnan තමන් දෙමළ ඊළාම් ජාතිකයෙකු මිස ශ්‍රී ලාංකිකයෙකු නොවන බවට ප්‍රකාශ කරයි.


කැනේඩියානු නිළි Maitreyi Ramakrishnan ඇයගේ නවතම Netflix චිත්‍රපටය වන Best of the Best නිකුත් වීමට සමගාමීව, ඇයගේ ඊළාම් දෙමළ උරුමය පිළිබඳවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස හැඳින්වීමට ඇති අකමැත්ත පිළිබඳවත් යළිත් වරක් විවෘතව අදහස් දක්වා තිබෙනවා. Brown Girl Magazine හරහා ප්‍රසිද්ධියට පත් වූ සහ Tamil Guardian ඇතුළු දෙමළ මාධ්‍ය ආයතන රැසක් විසින් පුළුල්ව හුවමාරු කරන ලද ප්‍රවර්ධන සම්මුඛ සාකච්ඡාවකදී Never Have I Ever තාරකාව සිය අනන්‍යතාවය පිළිබඳව ඉතා පැහැදිලිව අදහස් දක්වා තිබුණා. තමන්ට ශ්‍රී ලාංකික ජාතිකත්වයක් නොමැති බව අවධාරණය කළ ඇය, සිය දෙමළ මූලයන් පදනම් කරගනිමින් තමන්ව හඳුන්වා දීමට එහිදී කටයුතු කර ඇත. ලොව පුරා විසිරී සිටින ඊළාම් දෙමළ ඩයස්පෝරාවට අයත් පිරිසකට මෙම වචනවල වෙනස සහ එහි හැඟීම ඉතා හොඳින් වැටහෙන බව ද ඇය මෙහිදී අවධාරණය කර තිබෙනවා.


ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේදී දෙමළ සරණාගතයින් ලෙස කැනඩාවට සංක්‍රමණය වූ දෙමාපියන්ට දාව Ontario හි Mississauga හි උපත ලබා හැදී වැඩුණු 24 හැවිරිදි Ramakrishnan, 2019 වසරේ පැවති මුල් කාලීන සම්මුඛ සාකච්ඡාවල සිටම මෙම ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙනවා. සිය අනන්‍යතාවය ශ්‍රී ලාංකික වීම නොවන බවත්, තම රට කැනඩාව බවත්, නමුත් තම සංස්කෘතිය අනිවාර්යයෙන්ම දෙමළ සංස්කෘතිය බවත් ඇය එහිදී පෙන්වා දී තිබෙනවා. 


බොලිවුඩ් ආභාෂය සහිත විශ්වවිද්‍යාල නර්තන ප්‍රහසනයක් වන Best of the Best චිත්‍රපටය Netflix ඔස්සේ විකාශය වීම ආරම්භ වීමත් සමඟම ඇයගේ මෙම ප්‍රකාශයන් කරළියට පැමිණ තිබෙනවා. Lena Khan විසින් අධ්‍යක්ෂණය කළ මෙන්ම Hasan Minhaj විසින් සම රචනය සහ නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ Maya ලෙස ඇය ද, ඇයගේ ළමා කාලයේ හොඳම මිතුරිය වන Anjali ලෙස Priyanka Kedia ද රංගනයෙන් දායක වනවා. UCLA හි තරඟකාරී නර්තන කණ්ඩායමට එක්වන ඔවුන් දෙදෙනා ජාතික ශූරතාවයක් කරා යන ගමනේදී මුහුණ දෙන අභිලාෂයන්, එදිරිවාදිකම් සහ මිත්‍රත්වය පිළිබඳව මෙමඟින් නිරූපණය කෙරෙනවා.


2009 වසරේදී අවසන් වූ යුද ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දෙමළ ඩයස්පෝරාවේ බොහෝ දෙනෙකුගේ ස්ථාවරය ද Ramakrishnan ගේ මෙම ප්‍රකාශයන් මඟින් පිළිඹිබු කෙරෙනවා. දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මූලයන් සහිත දෙමළ ජනතාව හැඳින්වීම සඳහා ඊළාම් දෙමළ යන යෙදුම භාවිතා කරන අතර, එය බොහෝ විට වෙනම දෙමළ මව්බිමක් සඳහා වූ ඓතිහාසික අභිලාෂය සමඟ සම්බන්ධ වී පවතිනවා. මීට පෙර ද Vogue India වැනි වේදිකාවන් හරහා වෙනත් ඊළාම් දෙමළ නිර්මාණකරුවන් සමඟ එක්වෙමින් ඇය මෙම උරුමය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, දෙමළ ජාතිකයෙකු වීම සඳහා එක් නිශ්චිත ක්‍රමයක් පමණක් නොමැති බව ද ඇය එහිදී අවධාරණය කර තිබුණා.


2020 සිට 2023 දක්වා විකාශය වූ Netflix හි Never Have I Ever හි Devi Vishwakumar ගේ චරිතය, The Boys කතා මාලාවේ Countess Crow චරිතයට මෙන්ම Pixar හි Turning Red සහ 2025 වසරේ නිකුත් වූ Freakier Friday වැනි නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක වී තිබෙනවා. Best of the Best චිත්‍රපටය හරහා ඇය නැවතත් ප්‍රධාන live action චරිතයක් වෙත පිවිසෙන අතර, ප්‍රධාන වේදිකාවක් මත ඇය සිය අනන්‍යතාවය මෙලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ සිටින දෙමළ ප්‍රජාවගේ දැඩි අවධානයක් සහ පැසසුමක් ද ඇයට හිමිව තිබෙනවා.


කෙසේ වෙතත් කැනඩාවේ උපත ලැබූ අයෙකු කිසිදු ලෙසකින් ශ්‍රී ලාංකිකයෙකු නොවන අතර පවතින්නේ ශ්‍රී ලාංකික සම්භවයක් පමණක් වන බවත්, ඇය පවසන පරිදි ඊළාම් යනුවෙන් රටක් ලෝක සිතියමේ කොහේවත් නොමැති බවත් මෙහිදී සිහිපත් කළ යුතු වනවා.