Netflix has canceled David Fincher’s English-language Squid Game spin-off series.

Netflix has canceled David Fincher’s English-language Squid Game spin-off series.

අතිශය ජනප්‍රිය Squid Game කතාමාලාවට අදාළව නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ ඉංග්‍රීසි භාෂිත Heckler හෙවත් Squid Game: America නම් අතුරු කතාමාලාවේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Netflix ආයතනය තීරණය කර තිබෙනවා. ප්‍රවීණ අධ්‍යක්ෂක David Fincher විසින් සංවර්ධනය කළ මෙම ව්‍යාපෘතිය, සෘජු ප්‍රතිනිර්මාණයක් වෙනුවට ඇමෙරිකාව පදනම් කරගනිමින් කතාමාලාවේ විශ්වය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණා. බ්‍රිතාන්‍ය Utopia කතාමාලාවේ නිර්මාතෘ Dennis Kelly විසින් මෙහි තිරපිටපත රචනා කිරීමට ද සම්බන්ධ වී සිටියා.

කෙසේ වෙතත් Netflix ආයතනයේ ඉදිරි සැලසුම් වෙනස් වීම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් එක් දැවැන්ත කතාමාලාවක් නිර්මාණය කරනවා වෙනුවට, ප්‍රංශය සහ නෝර්වේ වැනි විවිධ රටවල් සඳහා වෙන වෙනම දේශීයකරණය වූ කතාමාලාවන් නිර්මාණය කිරීමට ඔවුන් මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. මීට අමතරව ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සිදුවූ වෙනස්කම් මෙන්ම අධ්‍යක්ෂක David Fincher සිය නවතම සිනමා නිර්මාණය වන The Adventures of Cliff Booth වෙනුවෙන් කාර්යබහුල වී සිටීම ද මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට තවත් හේතුවක් වී තිබෙනවා. Once Upon a Time in Hollywood හි මීළඟ දිගුව ලෙස එන, Quentin Tarantino ගේ තිරපිටපතකට අනුව Brad Pitt ගේ රංගනයෙන් හැඩගැන්වෙන අදාළ නවතම චිත්‍රපටයේ නැවත රූගත කිරීම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

මේ අතර 2025 වසරේ විකාශය වූ Squid Game තුන්වන කතා සමයේ අවසන් කොටස සඳහා අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනී Cate Blanchett, Los Angeles හි ඇමෙරිකානු නියෝජිතවරියක් ලෙස හදිසි ආරාධිත රංගනයක් එක් කිරීම ද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. රසිකයින් බොහෝ දෙනෙකු මෙය David Fincher ගේ නවතම කතාමාලාව සඳහා වන පූර්ව සූදානමක් ලෙස උපකල්පනය කළ ද, එහි ප්‍රධාන නිර්මාතෘ Hwang Dong-hyuk පෙන්වා දී තිබුණේ එය මෙම මාරාන්තික ක්‍රීඩාවන් ගෝලීයව සිදුවන බව පෙන්වීමට පමණක් යොදාගත් දර්ශනයක් බවයි. ඒ අනුව Cate Blanchett කිසිදු ආකාරයකින් මෙම අවලංගු වූ නවතම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වී නොසිටි බව ද අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.