Public criticism mounts against Sri Lanka Police over unpunished traffic violations in Jaffna

Public criticism mounts against Sri Lanka Police over unpunished traffic violations in Jaffna

පසුගිය මැයි 18 වනදා යාපනය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ත්‍රස්තවාදී කණ්ඩායමක් වන LTTE සංවිධානය සැමරීම සඳහා ආරක්ෂිත හිස්වැසුම් (Helmets) නොමැතිව යතුරුපැදි ධාවනය කළ දෙමළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය වෙත මහජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිනවා.

මෑතකාලීනව ශ්‍රී ලංකා පොලීසිය විසින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන නීතිවිරෝධී ධාවන කටයුතු සහ හිස්වැසුම් රහිත වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වා, අදාළ පුද්ගලයන් සොයා ගොස් නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණා. එමෙන්ම එම වැටලීම් සහ නඩු පැවරීම් පිළිබඳ තොරතුරු රසවත් Memes ආකාරයෙන් ශ්‍රී ලංකා පොලීසියේ නිල Facebook පිටුව හරහා ප්‍රසිද්ධ කිරීමට ද ඔවුන් පියවර ගත් අතර, ඒ සඳහා මහජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා.

කෙසේ වෙතත්, යාපනයේ සිදු වූ මෙම සිදුවීමට අදට දින 4ක් ගත වී තිබුණද, එහි සිටි පිරිසගේ සහ යතුරුපැදිවල ලියාපදිංචි අංක (Number plates) වීඩියෝ දර්ශනවල පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත්, පොලීසිය මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් කිරීමට අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව පොලිස් නිල ෆේස්බුක් පිටුවේ සටහන්වලට ප්‍රතිචාර දක්වමින්, පොලීසිය උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වන බවට චෝදනා කර සිටිනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් පිටුව තුළ භාවිත කරන ප්‍රධාන හෑෂ්ටැග් එකක් වන #මේ_ඔබේ_පොලිසියයි යන්න වෙනස් කරමින්, ජනතාව විසින් #මේ_ඔබේ_උතුරට_බය_පොලිසියයි යනුවෙන් නව හෑෂ්ටැග් එකක් නිර්මාණය කරමින් පොලීසිය දැඩි සමච්චලයට සහ විවේචනයට ලක් කරමින් සිටිනවා.

මීට අමතරව මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන සහ ඡායාරූප මහජනතාව විසින් පොලිස් නිල ෆේස්බුක් පිටුවේ කමෙන්ට් (Comments) ලෙස දිගින් දිගටම පළ කිරීම හේතුවෙන්, මේ වන විට අදාළ පිටුවේ ඡායාරූප කමෙන්ට් කිරීමේ පහසුකම (Photo comments) සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.

"එක රටක් එක නීතියක්" යන සංකල්පය රට තුළ ක්‍රියාත්මක වන බව පැවසුවද, රටේ අනෙකුත් ප්‍රදේශ වල පිරිස් සමාජ මාධ්‍ය වීඩියෝ දර්ශන ඔස්සේ ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගන්නා පොලීසිය, උතුරේ පැහැදිලි සාක්ෂි තිබියදීත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කර සිටිනවා. මෙම සිදුවීමත් සමඟ උතුරට සහ දකුණට වෙනස් ආකාරයේ නීති රීති ක්‍රියාත්මක වන්නේද යන සැකය සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.